IS වෙත ගිය ලාංකිකයෝ : "ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නැහැ"

  • 2016 නොවැම්බර් 20
අයිඑස් Image copyright AP
Image caption මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පැවැත්වීම පිණිස සංචාරක වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් පුද්ගලයන් කුරුණෑගල, කල්මුනේ, බේරුවල, කල්එලිය වැනි ප්‍රදේශවල මුස්ලිම් දරුවන්ගේ 'මනස විකෘති කරන බව' හෙළි වී ඇතැයිද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ පසුගියදා පැවසීය

ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක් වී ඇතැයි තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය පිටුපස ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නොතිබුණු බව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රභූ පවුල් හතරකට අයත් 32 දෙදෙනකු සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳී ඇතැයි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරනු ලබන නායකයන්ගේ සහ දේශපාලනඥයන් කීප දෙනෙකුගේ විරෝධය පල වී තිබිණි.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මීට වසරකට පෙර පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළ කරුණු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් එම ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ ජාතිවාදීන්ට අනුබල ලබා දෙන ප්‍රකාශයක් ලෙසය.

මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කරුණු සඟවා සිටීමෙන් ඇතිවිය හැකි භයානක තත්වය පිළිබඳ අවධානය යොමු කොට අයිඑස් කැරලිකරුවන් හා සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට පියවර ගත් බව පැවසීය.

ඇමතිවරයා සිය ප්‍රකාශය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් විදෙස් රටවලට අයත් ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය පවා අයිඑස් සංවිධානයට බැඳුනු පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන බවය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කරන ඇතැම් වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන අසත්‍යය ප්‍රචාර හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණය පිළිබඳ පවතින ජනතා විශ්වාසයට ද හානි සිදුවන බවත් ඇමතිවරයා කියා සිටියේය.

එම තත්වය ප්‍රයෝජනයට ගන්නා මාධ්‍යවේදීන් සුළු පිරිසක් පුවත් නිර්මාණය කරමින් මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට ද අධිකරණ අමත්‍යවරයා එහිදී චෝදනා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්