වැලිකඩ 'ඝාතන' වාර්තා කෝ? - ජවිපෙ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැලිකඩ 'ඝාතන' වාර්තා කෝ? - ජවිපෙ

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවල වාර්තා වහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තාවල අඩංගු නිරීක්ෂණ සහ නිගමන පිළිබඳ දැන ගැනීමට රටේ ජනතාවට අවශ්‍යතාවක් ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය.

"අපි ගහලා තියනවා පුවරුවක් සිරකරුවෝද මනුෂ්‍යයෝ වෙති කියලා. එහෙම තිබුනට ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලේ අපිට මතකයි බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි තියලා ඝාතනය කළා," මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ පැවති පාලන සමයේ පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවේ හරයක් නොතිබූ බවය.

ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අදාළ මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව සඳහන් කළ ඇමතිවරයා එම කමිටුව විසින් ලබා දුන් වාර්තා සැලකිල්ලට ගෙන ජනතාව වෙත හෙළිදරව් කළ හැකි කරුණු පමණක් ඇතුළත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ බව කියා සිටියේය.

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අදාළ වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත් මීට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාව නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

මේ අතර රැඳවියන් මරණයට පත් වී වසර හතරක් ගත වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.

එකී මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තා මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීමට හේතු විය හැකි යැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට පසුගියදා කියා සිටියේය.

එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පසුගියදා ජාතික මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කළේය.