ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමන 'ක්‍රමවේදයක් අවශ්‍යයි'

Image caption 'ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය ක්‍රමවේදයක් සකස් කිරීමට කාලය ඇවිත්'

ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක් සිය ආචාරධර්ම උල්ලංඝණය කරන අවස්තාවක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හෝ විභාග කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම බරපතල ගැටලුවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මුද්‍රිත මාධ්‍යයෙන් සිදුවන ආචාරධර්ම උල්ලංඝනයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක්‍රියා පටිපාටියක් මාධ්‍ය ප්‍රජාව විසින්ම සකස් කර තිබෙන නමුත් විද්‍යුත් මාධ්‍ය අරභයා එවැනි ක්‍රමවේදයක් නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ බව සඳහන් කරන්නේ අද දෙරණ නාලිකාව විසින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් විකෘත කළ බවට චෝදනා කරමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ගෙන ඇති පියවර පිළිබඳව දැඩි අවධානය පළකරමින් නිවේදනයක් නිකුත් කරමිනි.

විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් එවැනි නියාමනයක් නොමැති අවස්තාවක දෙරණ නාලිකාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගයේ 'විනිවිදභාවය ගැටළු සහගත' බවත් සංවිධානයේ කැඳවුම්කාරිය සීතා රංජනී සහ ලේකම් සී දොඩාවත්ත ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයේ සඳහන් වේ.

Image caption ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට අදාළ කටයුතු මෙහෙයවීම පිණිස ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගියදා සංවිධානය කළ වැඩමුළුවකදී ඉල්ලීමක් කළේය.

කෙතරම් බරපතල චෝදනා එල්ල වී තිබුණත් සීඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ ක්‍රියා කළ ආකාරය 'විචාරවත් පියවරක් නොවන' බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

"දෙරණ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ඇති වූ මෙම සිදුවීමෙන්ද පැහැදිලි වන්නේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා පිළිගත හැකි ස්වාධීන හෝ ස්වයං නියාමන ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බවයි."

ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු අවස්ථාව එළැඹ තිබෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට අදාළ කටයුතු මෙහෙයවීම පිණිස ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගියදා සංවිධානය කළ වැඩමුළුවකදී ඉල්ලීමක් කළේය.

මාධ්‍යවලට අදාළ ආයතන සහ ව්‍යුහයන් පිහිටුවීම, ප්‍රතිව්‍යුහගත කිරීම්, නීති සංශෝධන යනාදී කටයුතු එවැනි ස්වාධීන ආයතනයක් යටතේ සිදුකිරීම වගකීම් සහගත නිදහස් මාධ්‍ය සම්ප්‍රදායයක් ඇතිකිරීම පිණිස ඉතා වැදගත් බවත් එම සංවිධානය එහිදී අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර