බැඳුම්කර ප්‍රශ්නය ඉක්මනින් විසඳාගත යුතුයි - අගමැති

Image caption අගමැතිවරයා පාර්ලිමේන්තුව් අමතමින්

මහබැංකු බැඳුම්කර ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ වසරක් ගතවීමටත් පෙර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත්බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ අද (21) අයවැය විවාදයට සහභාගී වෙමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉන්පෙර පාර්ලිමේන්තුව අමතමින් 'රනිල් වික්‍රමසිංහ අගමැති පදවියේ සිටිනතෙක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නොපැවැත්වෙන' බවයි කියාසිටියේ.

විපක්ෂයට පිළිතුරු දෙමින් අදහස් පළකළ අගමැතිවරයා, පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම භාර පුද්ගලයා වන නීතිපතිවරයා වෙත එම කාරණය යොමුකළ බවයි සඳහන් කළේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තමන් එලෙස කටයුතු කළත් පසුගිය පාලන සමයේ සිදු වූ හෙජිං ගනුදෙනුව 'ග්‍රීක් බොන්ඩ්ස්' වැනි ගනුදෙනු පිළිබඳව තොරතුරු ඉල්ලා ඇතත් තවමත් එම තොරතුරු ලැබී නැති බවත් අගමැති වික්‍රමසිංහ කියාසිටියේය.

නීතිපතිවරයාට

'ආණ්ඩුවට උපදෙස් දෙන පුද්ගලයා නීතිපතිතුමා. පාර්ලිමේන්තු වරප්‍රසාද හැර සෙසු ප්‍රශ්න ගැන අපි විමසන්නේ නීතිපතිතුමාගෙන්. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගෙන් විමසා කතානායකතුමාගේ උපදෙස් අනුව කටයුතු කරනමෙන් මේ කාරණය නීතිපතිවරයාට යොමුකළා' අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියා ඇතිබව නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

නීතිපතිවරයාගෙන් පරිබාහිරව පෞද්ගලික නීතිවේදීන් හමුවේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට හැකිනම් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂ නායකයන්ට ඒ සඳහා පියවර ගතහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

පාර්ලිමේන්තු බලය

තමාගේ අමාත්‍යාංශයක් යටතේ පවතින ආයතනයක් සම්බන්ධයෙන් මතු වී පවතින ප්‍රශ්නයක් වන හෙයින් එය තම අමාත්‍යාංශය යටතේ විභාග නොකෙරීමට ඇමතිවරයා හැටියට තමා පියවර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි කාර්යභාරය පාර්ලිමේන්තුවට පැවරෙන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

කෙසේහෝ බැඳුම්කර ගනුදෙනු ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කරගත යුතුව ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර