රවිරාජ් ඝාතන නඩුව ජූරියක් හමුවේ විභාගය ඇරඹෙයි

  • 2016 නොවැම්බර් 22
Image copyright AFP

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව සිංහල භාෂාව කතාකරන පුද්ගලයන්ගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීම අද (නොවැ22) ආරම්භ විය.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබෙන නාවික හමුදා සෙබළුන් තුන්දෙනා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සිංහල භාෂාව කතා කරන ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණයෙන් මීට පෙර ඉල්ලා තිබුණි.

එහෙත් රවිරාජ් මන්ත්‍රීවරයාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නීතිවේදී එම්ඒ සුමන්තිරන් ඊට විරෝධය පළ කළේය.

කෙසේ වෙතත් විරෝධය ඉවත දැමූ මහාධිකරණය සිංහල භාෂාව කතාකරන උපාධිධාරින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් පත් කළේය.

ඒ අනුව අද ඇරඹුණු නඩු විභාගය දිනපතා පැවැත්වෙන බව මහාධිකරණ විනිසුරුවරයා පැවසීය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ඝාතනයට චෝදනා ලැබූ නාවික හමුදා සාමාජිකයන් තුන් දෙනා රිමාන්ඩ් භාරයට පත්කොට ඇති අතර විත්තිකරුවන් ලෙස නම් කොට සිටින 'කරුණා' කණ්ඩායමේ තිදෙනෙකු අධිකරණය මගහරිමින් සිටින බවය.

විදේශගතව සිටින්නේයැයි පැවසෙන අදාළ විත්තිකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කොට ඇත.