"ජීවිකාව අනතුරේ" - පාතදුම්බර ගඩොල් කර්මාන්තකරුවන්

පාරම්පරික ගඩොල් කර්මාන්තය සඳහා අවශ්‍ය පස් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නොදීමෙන් සිය ආදායම් මාර්ග ඇහිරී ඇති බව පවසමින් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන පහක ගඩොල් කර්මාන්තකරුවන් අද (නොවැ 22) විරෝධතාවක නිරත විය.

පාතදුම්බර එගොඩවෙල, මෙගොඩවෙල, පොල්ලේගොඩ, කළුගලවත්ත සහ මොලගොඩයාවත්ත ගම්මානවල ගඩොල් කර්මාන්තකරුවෝ අඹතැන්න ප්‍රදේශයේ දී මහනුවර යාපනය ඒ-9 මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

ගඩොල් නිෂ්පාදනය ගෘහාශ්‍රිතව කුඩා කර්මාන්තයක් වශයෙන් ක්‍රියාත්මක කරන තමන්ට අවශ්‍ය පස් පාතදුම්බර කොට්ඨාසය තුළ ගමකින් ගමකටවත් ප්‍රවාහනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඔවුහු පවසති.

රජයේ නිලධාරියෙකු සමග මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පැවසූ විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ බැවින් විකල්ප මාර්ගයක් ලෙස වත්තේගම මාතලේ මාර්ගය භාවිත කිරීමට පොලිසිය විසින් කටයුතු යොදනු ලැබ තිබුණි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී පත්මලාල් ද සිල්වා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එළඹෙන මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඔවුන්ගේ ගැටලුව ඉදිරිපත් කොට ඊට විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කිරීමෙන් පසු විරෝධතාකරුවන් සවස හතරට පමණ මාර්ගයෙන් ඉවත් වී විසිර ගොස් තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර