පැහැර ගැනීම: අනුරගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග

Image caption "පරීක්ෂණ නවතා දැමීම සඳහා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බලපෑම් කර ඇති නිසා"

2008 වසරේ කොළඹදී නාවික හමුදාව විසින් දමිල ජාතිකයින් දෙදෙනෙකු පැහැරගෙන යනු ලැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කොළඹ කොටහේන ප්‍රදේශයේදී සිදුවූ එම පැහැරගැනීමට අදාළ පරීක්‍ෂණ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යටතේ තිබූ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කෙරෙමින් පැවති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම පරීක්ෂණ නවතා දැමීම සඳහා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බලපෑම් කර ඇති නිසා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නාවික හමුදාපතිවරයාට නියෝගයක්

එම සිද්ධියට අදාලව දැනට ක්‍රියාත්මකවන පරීක්ෂණ සඳහා අවශ්‍ය ලිපි ලේඛන ලබාදීම නාවික හමුදාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම ලිපිලේඛන මේ මස 30 වනදාට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අධිකරණය නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළේය.