"රැවුළ වවන්නේ ඇයි කියල මම කැස්ත්‍රෝගෙන් ඇහුවා"

Image caption ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරාට ෆිදෙල් කැස්ත්‍රෝ හමුවූ අවස්ථාව

රැවුළ වවාගෙන සිටීමට හේතුව කුමක්දැයි ෆිදෙල් කැස්ත්‍රෝගෙන් විමසීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා පවසයි.

ඔහුට එම අවස්තාව ලැබී ඇත්තේ 1985දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හවානා නුවර කළ සංචාරය වාර්තා කිරීමට එහි ගිය දිනයේදී ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

තමන් ෆිදෙල් කැස්ත්‍රෝගෙන් කළ විමසීමට ලැබුණු පිළිතුර ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා සංදේශයට මෙසේ විස්තර කළේය. (සාකච්ඡාවට සවන්දෙන්න)

"දිනකට විනාඩි 20ක් යනවා මට රැවුළ කපන්න. සතියකට විනාඩි 140යි. මාසෙකට පැය 9යි විනාඩි 20යි. අවුරුද්දකට දවස් හතරහමාරකට වැඩි කාලයක් යනවා මට රැවුළ කපන්න, කියල කිව්වා. ඒ දවස් හතරහමාර මට ඉතිරි කරගන්න පුළුවන් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න, කියල කිව්වා." යනුවෙන් පාලිත පෙරේරා පැවසීය.

තමන්ව ඝාතනය කිරීමට ප්‍රයත්නයන් ගණනාවක් දියත් වූ නමුත් ඉන් සියල්ලෙන්ම බේරී සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විට ෆිදෙල් කැස්ත්‍රෝ පිළිතුරු දුන් ආකාරයද පාලිත පෙරේරා සිහිපත් කළේය.

"ඝාතන උත්සාහවලින් බේරී සිටීම පිළිබඳව ඔලිම්පික් ඉසව්වක් තිබුනානම් නියත වශයෙන්ම මම රන් පදක්කම දිනනවා කියල ෆිදෙල් උත්තර දුන්නා." යනුවෙන් පාලිත පෙරේරා පැවසීය. (සංදේශයට සවන්දෙන්න)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර