2020දී විදේශයට ගෘහ සේවිකාවන් යැවීම තහනම් - තලතා

විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල එම අදහස් පළ කළේ ඉරිදා අනුරාධපුරයේ පැවති උත්සවයකදී
Image caption 2020 වනවිට ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බව ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් පමණක් විදේශීය රැකියා සඳහා යැවීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙන බව ආණ්ඩුව පවසයි.

ඉරිදා (නොවැ.27) අනුරාධපුරයේ පැවති උත්සවයක් ඇමතු විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල ඉදිරි දෙවසර ඇතුළත එම යෝජනාව ක්‍රියාත්මක කරන බව සඳහන් කළාය.

"විගමනික ශ්‍රමික වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජයට බලාපොරොත්තුවක් නැහැ. පුහුණු ශ්‍රමිකයන් පමණක් විදේශීය රැකියා සඳහා යැවීමට අපි සැලසුම් කරලා තිබෙනවා."

හම්බන්තොට ආර්ථික කලාපය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය කියා සිටියේ, රට තුළ රැකියා අවස්ථාව වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර, ඒ මගින් රැකියා සඳහා විදේශගත වීමේ සංඛ්‍යාව අඩුවෙන බවය.

"ජනවාරි අට වෙනිදා වෙනකොට රටේ විශාලතම ආර්ථික කලාපය හම්බන්තොටේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙවැනි අවස්ථාව ඇතිවනකොට රැකියා සඳහා විදේශීය රටවලට ගිහින් දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ,"යැයි ඇය පැවසුවාය.

2020 වනවිට ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිය අමාත්‍යාංශය කටුයුතු කරන බවත් තලතා අතුකෝරල ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

"විදේශීය රටවල සේවය කරන ගෘහසේවිකාවන් මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වය දක්වන බව හැමෝම කියනවා. මම මේ අමාත්‍යාංශය භාරගත්තාට පස්සේ ඒ වචනය භාවිත කරන්නේ නෑ කියල තීරණය කළා," ඇය පැවසීය.

"මෙම කාන්තාවන් විදේශ රටකට ගියාට පස්සේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගැන මම දන්නවා. ඔවුන්ගේ පවුල් විඳින්න දුක් ගැනත් මම දන්නවා. ඒ නිසා 2020 වසරට පස්සේ ගෘහසේවිකාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා මේ ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරමින් සිටිනවා." යැයි අමාත්‍යවරිය අවධාරණය කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්