සංවර්ධනයට ගොදුරු වන හම්බන්තොට වන සතුන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංවර්ධනයට ගොදුරුවන හම්බන්තොට වන සතුන්

  • 2016 නොවැම්බර් 29

ගතවගිය වසර 15 ක පමණ කාලයක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන සතුන් වෙසෙන ප්‍රදේශ හෙළි කරමින් සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන කටයුතු හේතුවෙන් වන සතුන්ගේ වාසභූමි අහිමි වෙමින් පවතී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම වර්ධනය වූ අතර අනෙක් කැලෑ ප්‍රදේශය තුළ වෙසෙන මුවන් ගෝනුන් ඇතුළු වනසතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබේ.

වනසතුන් බහුලව වෙසෙන ප්‍රදේශවල පසුගිය රජය දියත් කළ 'වන සංහාරය' වත්මන් රජය ද එලෙසම පවත්වාගෙන යාම කනගාටුවට කරුණක් බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පැවසීය.

'වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය' සහ පසුගිය රජය ක්‍රියාත්මක කළ මහා පරිමාණ 'අක්‍රමවත් සංවර්ධන කටයුතු' හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

අලි - මිනිස් ජීවිත

එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි ඇතුන් 14 ක් පමණ වෙඩි තබා හෝ විදුලි සැර යොදා ඝාතනය කර ඇති අතර අලි ඇතුන්ගේ ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් අට දෙනකු පමණ මියගොස්, තවත් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටින බව හම්බන්තොට වන ජීවී කාර්යාලය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් හෙක්ටෙයාර් තිස්දෙදහසකට (32,000) අධික භූමි ප්‍රමාණයෙන් මේ දක්වා විටින් විට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් හෙක්ටෙයාර් පහළොස් දහසක් පමණ (15,000) ලබා දී ඇති බවත් හම්බන්තොට මයුරපුර මහවැලි කාර්යාලයේ කොට්ඨාශ කළමනාකරු අනුර ශාන්ත සඳහන් කළේය.

මේ වන විට වනසතුන් වෙනුවෙන් ඉතිරිව තිබෙන හෙක්ටෙයාර් 15,000 කට අඩු ප්‍රදේශය තුළ වන අලි 450 ක් පමණ ජීවත්වන බව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිවු එම් ඒ ගුණතුංග පවසයි.

කෙසේ නමුත් ඒ ප්‍රදේශය තුළ වනසතුන් සඳහා වෙන් වූ රක්ෂිත ප්‍රදේශයක් වෙන් කර නොමැත.

'නීතිය උල්ලංඝනය කරලා'

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

එහෙත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියළු සංවර්ධන කටයුතු මේ පනත් උල්ලංඝනය කරමින් සිදු කෙරෙන බවට පරිසරවේදී සජීව චාමිකර චෝදනා කරයි.

"සුනාමියෙන් පසුව හම්බන්තොට වෙරල ආශ්‍රිතව සිටි ජනතාව රට අභ්‍යන්තරයේ ගෙනැවිත් පදිංචි කළා. එහිදී වනඅලින්ගේ වාසභූමි විශාල ප්‍රමාණයක් හෙළි පෙහෙළි වුනා. මීට අමතරව 2001 මහවැලි වලව වම ඉවුර ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට, අම්බලන්තොට, සුරියවැව යන ප්‍රදේශ තුළ තිබු විශාල වන වැස්මක් මිනිසුන්ගේ වගාකටයුතු සදහා ඉවත් කිරීමට සිදු වුනා," යනුවෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිවු එම් ඒ ගුණතුංග පැවසීය.

වනඅලි කලමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කර වනඅලින්ගේ වාස භූමි සුරක්ෂිත නොවුවහොත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අලි මිනිස් ගැටුම ඉදිරියේදී වර්ධනය විය හැකි බවත් ඔහු අවධාරණය කරයි.

සබැඳි විෂයයන්