"වෛද්‍ය වර්ජනයට මුහුණ දෙන්න සූදානම්"

අමාත්‍ය රාජිත සේනාරත්න Image copyright Getty Images

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හෙට දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (නොවැ.29) දහවල් තමන්ට දැනුම් දුන් බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා එම වැඩවර්ජනය සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් නොපැවැත්වුණු බවත් කියා සිටියේය.

වැඩවර්ජනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පවසන්නේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගත යුතු බවය.

අය වැය යෝජනාවල අඩංගු රාජ්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය සම්බන්ධ කරුණු කීපයක් මුල් කර ගනිමින් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අය වැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, දෙවැනි රැකියාව සඳහා පනවන බද්ද විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සේවයේ සුවිශේෂ දීමනා වෙනුවෙන් බද්දක් අය කිරීම ඇතුළු යෝජනාවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ වෛද්‍ය නලීන්ද හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

ඉහත කී ඉල්ලීම් මුල් කර ගනිමින් ඌව පළාතේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ ඊයේ පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වී සිටියහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර