තලතා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්

  • 2016 නොවැම්බර් 29

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාම වැටුප ලබාදීමේ කටයුතු ඉදිරි මාස තුන ඇතුළත ඇරඹිය හැකි බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල පවසන්නීය.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 50,000 ක දායකත්වයක් දැරීමෙන් මෙම විශ්‍රාම වැටුප හිමිකරගත හැකි බව ඇමතිනිය පැවසුවේ, අද (නොවැ. 29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී බීබීසී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

රජය එම විශ්‍රාම වැටුප පිරිනැමීම සඳහා රුපියල් බිලියන 2ක දායකත්වයක් සපයන බව අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ පැවසීය.

වසර දෙකක කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් රුපියල් 50,000ක දායකත්වය බැගින් වසර 10ක් අරමුදල තුළ රැඳෙන අයෙකුට වයස අවුරුදු 60 පසු ජීවිත කාලය පුරා එම විශ්‍රාම වැටුප හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දියානු ගමන් බලපත් උපයෝගී කරගනිමින් විදේශගත වීමට ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගියදා උත්සාහ දැරූ බව කියා සිටි තලතා අතුකෝරල ඇමතිනිය, එසේ විදේශගතවූවන්ට විශ්‍රාම වැටුපක් හෝ කිසිදු ශ්‍රී ලාංකික තානාපති සහනයක් නොලැබෙන බව පෙන්වා දුන්නේ වැරදි මාර්ගවලින් විදේශගත නොවන ලෙස ඉල්ලීමක් ද කරමිනි.

'ගෘහ සේවයට තහනමක් නැහැ'

ගෘහ සේවයට කාන්තාවන් යැවීම නවතන බව තමන් කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව ඇමතිනිය සඳහන් කළේ ඒ පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමුකරමිනි.

තමන් පැවසුවේ 2020 වසරෙන් පසු විදේශගත කරනුයේ පුහුණු ශ්‍රමිකයින් පමණක් බව යැයි ඇමතිනිය සඳහන් කළ අතර මෙම වසරේදී කාන්තාවන්ගේ විදේශගතවීම 10%න් පමණ අඩුවී ඇති බව ද පැවසුවාය.

'සමාජ මාධ්‍ය'

මැදපෙරදිග සිටින තානාපති සේවයේ නිලධාරීන් විවේචනය කරමින්, එහි පීඩාවට ලක්වූ ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන තොරතුරු පිළිබඳව කළ විමසීමේදී ඇමතිනිය කියා සිටියේ සමාජ මාධ්‍යවල බොහෝවිට අසත්‍ය පළකෙරෙන බවය.

මෑතදී කුවේට්හි රෝහලක සිටින කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවතකින් අනතුරුව ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී තානාපති කාර්ලයේ කම්කරු නිලධාරිනිය රෝහලේ අදාළ කාන්තාව සමග සිටිනු තමන් දැනගත් බව ද ඇමතිනිය කියා සිටියාය.

ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ යම් ගැටලුවක් ඇත්නම් ඕනෑම මොහොතක විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධවන ලෙස ය.