මර්වින් සිල්වාට රුපියල් ලක්ෂ හතරක දඩයක්

Image copyright Mervin Silva/FB

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වන හිටපු ඇමති මර්වින් සිල්වා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ හතරක වන්දියක් අගතියට පත් පාර්ශවයට ගෙවියයුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අසිත නානායක්කාර නමැති පැමිණිලිකරුවකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසානයේ එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

2010 වසරේ එවකට ඇමතිවරයකු වූ මර්වින් සිල්වාගේ බලපෑම් මත කැලණිය ප්‍රදේශීය සභාවේ උපකරණ යොදා තම නිවසේ තාප්පයක් ඇතුළු කොටසක් කඩා ඉවත් කෙරුණු බව පැමිණිලිකරු සිය පෙත්සම මගින් කියා සිටියේය.

එම ක්‍රියාවට කිරිබත්ගොඩ පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයාගේ ද සහයෝගය ලැබුන බව පෙත්සම්කරු පවසයි.

වග උත්තරකරුවන්ගේ ක්‍රියා මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතිබවට තීන්දුවක් දෙන ලෙස පැමිණිලිකරු සිය පෙත්සම මගින් ඉල්ලීමක් කර තිබුණි.

පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දෙමින් හිටපු ඇමති මර්වින් සිල්වා සහ කිරිබත්ගොඩ පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් කඩකර ඇතිබව ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව හිටපු ඇමති මර්වින් සිල්වා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ හතරක් ද, කිරිබත්ගොඩ පොලිසියේ එවකට සිටි ස්ථානාධිපතිවරයා රුපියල් 50000 ක මුදලක්ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එමෙන්ම රජය විසින් ද පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක් වන්දියක් ගෙවිය යුතු යයි නඩු තීන්දුවේ දැක්වෙයි.

බීබීසී යෙන්