වෛද්‍ය වර්ජනය; රෝගීන්ගේ ප්‍රතිචාර

Image copyright ISHARA S. KODIKARA
Image caption වෛද්‍යවරුන් නැතිව බලාසිටින රෝගීන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) අද බදාදා (30) ගෙනගිය සංකේත වැඩවර්ජනය පිළිබඳව තමන් කල්තබා දැනුවත්ව නොසිටි බව ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහල් වෙත පැමිණ සිටි රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කළහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිනක සංකේත වැඩවර්ජනයක් දියත් කරන ලද්දේ 'රාජ්‍ය සේවය සහ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මෙවර අය වැය යෝජනාවලට ඇතුළත් යෝජනා කීපයකට විරෝධය පළකිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයකට යන'බව පවසමිනි.

එම වෛද්‍ය වැඩවැරුම හේතුවෙන් පිළිකා ,ළමා සහ කාන්තා රෝහල් හැර රට පුරා පිහිටි 900 කට අධික රෝහල් සංඛ්‍යාවක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය.

පහළොස් දහසකට අධික රජයේ වෛද්‍යවරුන් වැඩවර්ජනයට සම්බන්ධ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පහළොස් දහසක් වර්ජනයේ

වෛද්‍ය වර්ජනය පිළිබඳ කල්තබා දැනුවත්ව නොසිටි බැවින් මහත් අසීරුතාවකට මුහුණ දුන් බව ප්‍රතිකාර ලබා ගැනීම පිණිස කොළඹ ජාතික රෝහල වෙත පැමිණ සිටි රෝගීහු කියා සිටියහ.

ඔවුන් අතර සිටි එක් රෝගියෙක් බීබීසියට අදහස් දක්වමින් 'තමා ඩෙංගු රෝගියකු වන අතර රෝගීන් වන තමන්ගෙන් පලිගැනීම සඳහා සිදු වූ වරද කුමක්දැයි' ප්‍රශ්න කළේය.

වර්ජනය පිළිබඳව නොදැන තමා රෝහලට පැමිණිබව කියාසිටි වෘද්ධ කාන්තාවක් බෙහෙත් නොගෙනම ආපසුයාමට සිදුවී ඇතැයි මැසිවිලි පළකළාය.

තවත් රෝගියකු අදහස් දක්වමින් අද දිනයේ රෝහලට පැමිණෙන මෙන් තමාට දිනයක් දී තිබුණ අතර රෝහලට එනතෙක් වර්ජනයක් ගැන තොරතුරු නොලද බව කියා සිටියේය.

පෞද්ගලීකරණය කරන්න

'මේවා පෞද්ගලීකරණය කරන්න ඕන. එතකොට වැඩ කෙරේවි'එම රෝගියා පවසයි.

මීගමුව සහ මාරවිල රෝහල් කරා ගිය බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න හමු වූ රෝගීහු මේ අවුලට වගකිව යුත්තේ වෛද්‍යවරුන්ද? නැත්නම් රජයදැයි ප්‍රශ්න කළේය.

'වෛද්‍යවරුන් ජනතාවගේ බදුමුදල් වලින් වැටුප් ලබන අය නිසා ඔවුන් මීට වඩා සංවේදී විය යුතුයි' එම රෝගියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

'කොහොමවුනත් අහිංසක රෝගීන් දඩමීමා කර ගනිමින් මෙවැනි ක්‍රියා සිදුකිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ'ඔහු පවසයි.

'අයිතිවාසිකම් ඉල්ලන්න එපා කියල අපි කියන්නේ නැහැ. නමුත් අයිතිවාසිකම් ඉල්ලන ක්‍රමයක් තියෙනව' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හැමදාම ස්ට්‍රයික්

'හැමදාම ස්ට්‍රයික් .අපිට බෙහෙත් ගන්න දවසක් නැහැ' රෝගී කාන්තාවක් ප්‍රකාශ කළාය.

'මේ ආණ්ඩුවට ඡන්දය දී දැන් දුක් විඳින' බව එම කාන්තාවගේ අදහසයි.

අය වැය යෝජනාවල අඩංගු කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනවබෝධයකින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.