ගෝඨාභයට රට යන්න අවසර

  • 2016 දෙසැම්බර් 1
Image caption හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට ඇප නියම කිරීමේදී ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය මිට පෙර නියෝග කර තිබුණි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඇවන්ගාර්ඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට ඇප නියම කිරීමේදී ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය මිට පෙර නියෝග කර තිබුණි.

අදාළ නඩු විභාගය අද (දෙසැ. 01) කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසය.

එම ඉල්ලීමට පැමිණිලි පාර්ශවයෙන් කිසිදු විරෝධයක් පළනොවූ බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අධිකරණය නියෝග කළේය.

එහෙත් යම් විත්තිකරුවකු විදෙස් ගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කළයුතු බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්ණේය.

මෙම නඩු විභාගය පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර