පෞද්ගලික බස් අවුල විසඳීමට මණ්ඩලයක්

පෞද්ගලික බස් අවුල විසඳීමට මණ්ඩලයක් Image copyright president.gov.lk

පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ප්‍රශ්න සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ මණ්ඩලයක් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවී සිටි සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු තවත් බස් සංගම් කීපයක නියෝජිතයින් සමග අද (දෙසැ.03) ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

රජය විසින් සෑම තීන්දුවක්ම ගනු ලබන්නේ මහජනතාවගේ යහපත උදෙසා බව එහිදී ජනාධිපතිවරයා කියා සිටි බවත් එම නිවේදනයේ දැක්වේ.

රටේ සෑම අංශයක් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් කිසිවකුටත් අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන අතරේම සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රථ වාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිපතිවරයා විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, මෝටර් රථ කොමසාරිස් විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත මණ්ඩලය ලබන සඳුදා සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ තෝරා ගත් නියෝජිතයින් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර