"බණ කීමෙන් පමණක් මාර්ග අනතුරු වළක්වන්න බැහැ"

"බණ කීමෙන් පමණක් මාර්ග අනතුරු වළක්වන්න බැහැ" Image copyright Getty/ SENA VIDANAGAMA

ජනතාවට කරුණු කීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ "ලොකුම මාරයා' බවට පත් වී ඇති මාර්ග අනතුරු වළකාගත නොහැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මාර්ග අනතුරු පිළිබඳ ජනතාව දැනුවත් කරන අතරවාරයේ අනතුරු අවම කර ගැනීම සඳහා පවතින නීති දැඩි කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙයි.

ඔහු ඒ බව කියා සිටියේ මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි හතක් සඳහා පැවති දඩ මුදල ඉහළ දැමීමත් සමග මාර්ග අනතුරුවල අඩුවක් දක්නට ඇති බවට පළවන වාර්තා පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී.

"මිනිස්සුන්ට බණ කීමෙන්, දැනුවත් කිරීමෙන් පමණක් මෙය කරන්න බැහැ. ලෝකයේ මෙන්ම අප කරපු පරීක්ෂණ අනුවත් පැහැදිලි වූ දෙයක් තමයි ජනතාව දැනුවත් කරන අතරම නීතියේ රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමයක් ප්‍රායෝගිකව සිදු විය යුතුයි," විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

'යුද්ධයටත් වඩා අනතුරු'

"තරුණයෙක් වේගයෙන් රිය පදවන්න කැමතියි. යම්කිසි වේග සීමාවක් දක්වපු මාර්ග සලකුණු තියනවා. නමුත් තරුණ පුද්ගලයා ඊට අවනත වෙන්නේ එකක් ඒ සංඥාව දැකීමෙන් නැතිනම් පොලිසියට හසු වීමෙන්," එයට උදාහරණ දෙමින් වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුණි.

"හුදෙක් දැනුවත් කිරීමෙන් පමණක් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ තරුණයා කැමති වේගයෙන් රිය පදවන්නයි."

යුද්ධය පැවති සමයේ අනතුරුවලට ගොදුරු වූ පුද්ගලයන්ටත් වඩා වැඩි පිරිසක් හදිසි අනතුරුවලට ලක් වී රෝහල් වෙත පැමිණෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ ඇඳන් හයකින් තුනක් හෝ හතරක් පිරී පවතින්නේ මාර්ග අනතුරුවලට ලක් වූ පුද්ගලයන්ගෙන් බව පෙන්වා දෙන ඔහු, පසුගිය මාස කීපය හා සැසඳීමේදී නොවැම්බර් මාසය වන විට මාර්ග අනතුරුවලට ලක් වී රෝහල් වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සියයට දෙකක අඩුවක් දක්නට ඇති බවත් සඳහන් කළේය.

ඒ අනුව මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා පැවති දඩ මුදල ඉහළ දැමීම හේතුවෙන් අනතුරුවල අඩුවක් සිදු වී ඇතැයි සිතිය හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර