පළාත් සභා ප්‍රතිපාදන කප්පාදු කරලා - මහ ඇමති

'මේක බලය විමධ්‍යගත කිරීමක් නෙවෙයි, බලය ඒකරාශී කිරීමකට තමයි ගිහිල්ල තියෙන්නේ'
Image caption 'මේක බලය විමධ්‍යගත කිරීමක් නෙවෙයි, බලය ඒකරාශී කිරීමකට තමයි ගිහිල්ල තියෙන්නේ'

පළාත් සභා සඳහා අය වැයෙන් ලබාදෙන මුදල් ප්‍රතිපාදන කප්පාදු කර නැතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන ප්‍රකාශය මධ්‍යම පළාතේ මහ ඇමතිවරයා ප්‍රතික්ෂේප කරයි.

ගතව ගිය වසරේ අය වැයෙන් පළාත් සභා සඳහා වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදනවලට සාපේක්ෂව 2017 වසර සඳහා වෙන් කර තිබෙන්නේ එයින් 40-45% කට ආසන්න ප්‍රතිශතයක් බව මහ ඇමති සරත් ඒකනායක බීබීසී සංදේශයට පැවසීය.

"මේක බලය විමධ්‍යගත කිරීමක් නෙවෙයි, බලය ඒකරාශී කිරීමකට තමයි ගිහිල්ල තියෙන්නේ," ඔහු පැවසීය.

මුදල් ඇමතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ 2016 වසර සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන සියල්ල ලබා දෙන බව විනා 2017 වසරට අදාළ ප්‍රතිපාදන පිළිබඳව නොවන බවත් මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

නඩු මගට?

ප්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහිව නඩු මගට බැසීමට පවා මහ ඇමතිවරු සූදානම් බවට වාර්තා පළ වී තිබිණ.

එසේ ප්‍රතිපාදන කප්පාදු කර තිබෙන්නේ නම් ආණ්ඩුවට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ දැයි සංදේශය කළ විමසීමට ප්‍රතිචාරය පළ කළ මහ ඇමති සරත් ඒකනායක, පළාත් සභාවලට පමණක් නොව සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන කප්පාදු කර ඇතැයි මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡාවකදී මුදල් ඇමතිවරයා සඳහන් කළ බව කියා සිටියේය.

Image caption පළාත් සභාවලට වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පාදු කර නැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි

"නමුත් දැන් සවිස්තරව එලියට එනකොට අපිට පැහැදිලි වෙනවා, පළාත් සභා විෂයයන් සඳහා රේඛීය අමාත්‍යංශයට මුදල් වෙන්කරලා. මිලියන 4500 ක් වගේ මුදලක් මහාමාර්ග අමාත්‍යංශයට පළාත් පාලන මාර්ග හදන්න වෙන්කරලා තියෙනව."

කිසියම් ලෙසකින් රේඛීය අමාත්‍යාංශය පළාත් පාලන ආයතන යටතේ පවතින කටයුතුවලට ඇඟිලි ගසන්නේ නම් නඩු මගට යාමට සිදුවනු ඇතැයි මහ ඇමතිවරුන් සඳහන් කළ බවත් ඔහු පැවසීය.

පළාත් සභා 'සුදු අලියන්' බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන මහ ඇමතිවරයා, පළාත් සභා සුදු අලියන් බවට පත්වන්නේ අවශ්‍ය ප්‍රාග්ධන වියදම් ලබා නොදෙන්නේ නම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර