ජනපති සහ අගමැතිට සිතාසි

  • 2016 දෙසැම්බර් 5
අගමැති සහ ජනපති Image copyright Getty Images

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව පවරා තිබෙන නඩුවක සාක්ෂිකරුවන් ලෙසින් නම් කර තිබෙන අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට හිටපු මන්ත්‍රීවරයා ක්‍රියා කළ බවට චෝදනා නගමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබේ.

අදාළ නඩුව ලබන මාර්තු මස විසි වැනි දිනට කල් තැබූ මහාධිකරණය, එදින පටන් දිනපතාම නඩුව විභාගයට ගැනීමටද දින නියම කළේය.

Image caption එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කළ බවට පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි

සඳුදා නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ විත්තියේ නීතිඥවරයා, විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම දින පනහකට අධික කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටීම යන කරුණු සැළකිල්ලට ගෙන ඇප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එය පිළිගත් අධිකරණය, පසුගිය නොවැම්බර් 04 වැනි දින සිට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර