"බස් වැරදි නවත්තන්න රියදුරන්ගේ මොළ සුද්ද කරන්න"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"වැරදි වළක්වන්න රියදුරන්ගේ මොළ සුද්ද කරන්න"

  • 2016 දෙසැම්බර් 6

බස් රථ අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් අනතුරක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

වේගය අඩු වීම මත හදිසි අනතුරු අවම වන බවට පවතින මතය කිසිසේත් පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම්වරයා ඒ බව සඳහන් කළේ රථ වාහන වැරදි හතක් සඳහාවන දඩ මුදල රුපියල් විසි පන්දහස දක්වා ඉහළ දැමීමට ගත් තීන්දුවට විරෝධය පළ කරමින් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සංගම් විසින් පවත්වන ලද වැඩවර්ජනය හා ඒ සඳහා රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව සමග ඊයේ (දෙසැ.05) පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වේගයෙන් රිය පැදවීම සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සඳහා පැවති රුපියල් විසි පන්දහසේ දඩ මුදල ඉවත් කර ගැනීමට රජය එකඟතාව පළකර ඇති බවය.

ලංගම බස් රථවලට පහරදීමට සිය සංගම්වල සාමාජිකයන් සම්බන්ධ නොවූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම්වරයා පැවසීය.

පෞද්ගලික බස් වර්ජනය පැවති දින ලංගම බස් රථ 130 කට වැඩි සංඛ්‍යාවකට පහරදීම් සිදුකර තිබූ අතර බස් රථයකට එලල් වූ ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ මගියෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මාර්ග නීති උල්ලංඝනය කරමින් බස් රියදුරන් විසින් සිදු කරනු ලබන වැරදි නැවැත්වීමට පොලිස් දෙපාර්තමේන්තුව හරහා වැඩමුළු පවත්වා රියදුරන්ගේ 'මොළ සුද්ද' කිරීමට කටයුතු යෙදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි විෂයයන්