වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග සාකච්ඡාවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"බදු ගෙවන ජනතාව වේලෙනවා, දේශපාලකයා V8එකේ ඉගිලෙනවා"

ෆෙඩරල් පිළිබඳව දේශපාලන කතිකාවක් ගොඩ නැගීම වනාහි 'උතුරේත් දකුණේත් ජාතිවාදීන්ට එල්ලෙන්නට පිදුරු ගස් සැපයීමක්' බව ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ලන්ඩනයේ කළ සංචාරයක් අතරතුර බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

"1987 තමයි අපිට පළාත් සභා හඳුන්වා දුන්නෙ. 2017 වෙනකොට අවුරුදු තිහක් වෙනවා. දැන් උතුරේ ප්‍රශ්නේ විසඳිලාද? නැගෙනහිර ප්‍රශ්නේ විසඳිලාද? ඒ ජනතාවට අවශ්‍ය විධායකයේ බලයෙන් කොටසක් නෙමෙයි, තමන්ගේ දරුවාගේ පාසලේ හෝ තමන්ගේ රෝහලේ ප්‍රශ්නේ විසඳගන්න, පාරවල් හදාගන්න, පාරට බස් එකක් දාගන්න. මේ අවශ්‍යතා ඉටුවන ආකාරයට බලය පහලම ස්තරය දක්වා විහිදී යායුතුයි." යනුවෙන් ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

දූෂිත දේශපාලන සංස්කෘතිය

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය නොලැබෙන්නේ මන්දැයි විමසූවිට වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ 1977ට පෙරත් දූෂිත මැතිවරණ පැවැත්වුණු බවය.

"හැමෝම පවතින මැතිවරණ ක්‍රමයට අල්ලාගෙන තඩි බෑවට ඊට එහා ගිය අන්ත දූෂිත දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපනය වෙලා තියෙනවා. මනාප ක්‍රමය තුළත් මරා ගන්නේ නැතුව අපි මැතිවරණ කරලා පෙන්නුවා." යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රී සැප වාහන

මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ලබා දීම සඳහා විශාල ධනස්කන්ධයක් වෙන්කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමාජ සේවය සඳහා මෙතරම් වටිනා වාහන අවශ්‍ය නොවන බවය.

"බදු ගෙවන ජනතාව පාරේ වේලි වේලි ඉන්නවා. දේශපාලකයෝ V8එකේ ඉගිල්ලිලා යනවා." යනුවෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

සම්පුර්ණ සාකච්ඡාවේ වීඩියෝ පටය ඉහතින් අමුණා ඇත.