හම්බන්තොට වරාය: චීන සමාගමක් සමඟ නව ගිවිසුමක්

Image caption වරායට කිසිසේත් ආදායමක් නැහැ. දවසකට එක නැවක් පමණයි එන්නේ. සමහර දවස්වලට එක නැවක්වත් නැහැ -මලික්

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා චීන රජයට අයත් සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු භාර අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

ඔහු මේබව හෙළිදරව් කළේ අද (දෙසැ. 07) පාර්ලිමේන්තුව අමතමිනි.

"ගරු මන්ත්‍රීවරු දන්නවා අපි හම්බන්තොට වරාය හදන්න ඩොලර් බිලියන 1.35ක ණයක් අරගෙන තියෙනව චීනෙන්. නමුත් ඒ ණය ගෙවන්න අමාරු තත්වයකට තමයි මුහුණ දීල තියෙන්නේ. මොකද, වරායට කිසිසේත් ආදායමක් නැහැ. දවසකට එක නැවක් පමණයි එන්නේ. සමහර දවස්වලට එක නැවක්වත් නැහැ. නමුත් මේ අලුත් ව්‍යාපෘතිය තුළින් ඩොලර් බිලියන 1.1ක් හෝ 1.2ක් ඉදිරි මාස හය තුළ ලබාගන්න අපි කටයුතු කරලා තියෙනවා." යනුවෙන් ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළේය.

Image caption හම්බන්තොට වරාය

නව ගිවිසුම අත්සන් කිරීමට යන චීන සමාගමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද පසුගියදා ගොස් ඇති බව මලික් සමරවික්‍රම ඇමතිවරයා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා එහි සංචාරය කරමින් ලබා දුන් සහයෝගයට ස්තුති කරමින් ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේ හම්බන්තොට වරාය ආශ්‍රිතව නව ආයෝජන ඇතිකිරීමට බලාපොරොත්තුවන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර