'අන්තවාදී' වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගන්නවා - රනිල්

වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල Image copyright Reuters

ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සමගියට බාධා කරන සහ අන්තවාදී අදහස්වලට අනුබල දෙන වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව නීතිය ක්‍රියාවට නැගීමට නොපැකිලෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

කෙසේ වෙතත් එවැනි පියවරක් ගැනීමට පෙර සිය අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා ගුරුතලාවේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ බව සඳහන් කළ අගමැතිවරයා, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

Image copyright Getty Images

"අපි ඉස්සෙල්ල බලමු කරුණු කියල. බැරි නම්, ඒ ක්‍රියාවලින් රටේ ප්‍රශ්න ඇතිවෙනවා නම්, අපි එහෙනම් නීතිය ක්‍රියාත්මක කරමු,"යනුවෙන්ද අගමැතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලි සේවාවන් හෝ රූපවාහිනී නාලිකා මෙන් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ජාතික සමගියට හානිකරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් පළමු පියවර සාකච්ඡා මාර්ගය බවයි, අගමැතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව බිඳ දැමීමට එවැනි වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල කවර අන්දමේ උත්සාහයන් දැරුවත් 'ජනවාරි 08 වැනිදා ජනවරම කණපිට පෙරලීමට' කිසිවෙකුටත් හැකියාවක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර