මාරවිල මුහුදු ඛාදනයට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාරවිල මුහුදු ඛාදනයට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලති

වයඹ සහ බටහිර මුහුදු තීරයේ මාරවිල සිට උතුරට මුහුදු තිරය වසර ගණනාවක සිට ඛාදනය වෙමින් පවතී.

මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටියත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවී නැති බවට ජනතාව නිරන්තරයෙන් මැසිවිලි නගති.

ධීවරයන් පදිංචිවී සිටීම නිසාත් , මුහුදට ආසන්නව පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තිබීම හේතුවෙනුත් මේ ප්‍රදේශයට වෙරළක අවශ්‍යතාවය තදින් දැනෙන බව ප්‍රදේශවාසීහු පවසති.

වෙරළ ආරක්ෂාකර ගැනීම සඳහා ගල් දැමීම පමණක් ප්‍රමාණවත් නොවූ අතර වෙරළ පෝෂණය කිරීම සදහා නැවත වැලි පොම්ප කිරීමට වෙරළ සංරක්ෂණ දෙපර්තුමෙන්තුව කටයුතු කළේය.

මෙයට වසර හතරකට පමණ පෙර වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ සදහා මුලින්ම කටයතු කළේ නැවක් යොදා ගනිමින් වැලි පොම්ප කිරීමෙනි.

එහිදී ප්‍රබල ජනතා විරෝධයක් මතු වූ අතර ජනතාවගේ ඉල්ලීම වූයේ වැලි පොම්ප කිරීමට සමගාමීව ගල් බැමිද යොදන ලෙසයි.

එසේ නැතහොත් ඉතා ඉක්මනින් වැලි නැවත මුහුදට ගසාගෙන යන බවද ජනතාව පෙන්වා දුන්හ.

කෙසේවුවද වැලි පොම්ප කිරීම පමණක් සිදු කෙරුණු අතර වසරක් යාමට මත්තෙන් එම වැලි නැවත මුහුදට ගසාගෙන ගොස් තිබුණි.

වසර හතරකට පසු නැවතත් වැලි පොම්ප කිරීම ආරම්භ වී ඇති අතර මෙවරද ජනතා ඉල්ලීම් නොතකමින් මේ කාර්යයන් සිදුවේ .

මෙහි ප්‍රතිඵල මේ වන විටම දැකගන්නට ලැබෙන අතර වැලි පොම්ප කිරීම සිදුවන අතරතුරම වැලි මුහුදට ගසාගෙන යාමද මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතී.

මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් මෙන්ම ධිවර සංවිධානද ඉල්ලා සිටිති.