වරාය සේවකයන්ට අර්ජුණගෙන් අවසන් නිවේදනයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වරාය සේවකයන්ට අර්ජුණගෙන් අවසන් නිවේදනයක්

  • 2016 දෙසැම්බර් 14

බ්‍රහස්පතින්දා සවස 2ට පෙර සේවයට වාර්තා නොකරන හම්බන්තොට වාරයේ සේවකයන් ඔවුන්ගේ රැකියාව හැරගිය පිරිසක් ලෙස සලකන බව වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන අවශ්‍යතා හේතුවෙන් රටට ආදායම නැති කර ගැනීමට රජයට නොහැකි බවය.

හෙට දිනයේ සේවයට වාර්තා නොකරන පිරිස වෙනුවට හම්බන්තොට ප්‍රදේශයෙන්ම තවත් පිරිසක් බඳවා ගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

වරායේ සේවකයන් නැව් බලහත්කාරයෙන් රඳවා ගනිමින් කළ විරෝධය නිසා හම්බන්තොට වරාය දැඩි අවදානමක් සහිත වරායක් ලෙස ජාත්‍යන්තර නැව් සමාගම් විසින් මේවනවිට නම් කරනු ලැබ ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා නීතිවිරෝධීව කටයුතු කළ වාරයේ සේවක පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය කටයුතුකරනු ඇති බවද පැවසීය.

නීතිමය පියවර

වරායේ සේවකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නාසේ පසුගිය සෙනසුරාදා එහි ඇතිවූ සිද්ධියේදී මාධ්‍යවේදියාට පහරදුන් බවට චෝදනා එලල්වී ඇති නාවික හමුදාපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු නේදැයි බීබීසිය මෙහිදී විමසු අතර එයට අමාත්‍යවරයාගේ පිළිතුර වුයේ එවන් අවශ්‍යතාවයක් තමන් නොදකින බවය.

මෙම සිද්ධියට මුහුණදුන් මාධ්‍යවේදියා අනවශ්‍ය ප්‍රදේශවලට ඇතුල්වී ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා කෙසේ වෙතත් තමන් මාධ්‍යවේදියෙකුට පහරදීම කිස්සේත්ම අනුමත නොකරන බව ප්‍රකාශ කළේය.

මෙවන් ගැටළු බොහෝවිට ඇතිවන්නේ මෙවැනි සිදුවීම් වලදී මාධ්‍යවේදීන් හඳුනාගැනීමේ ගැටළු නිසා බව පෙන්වාදුන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙවැනි අවස්ථාවල ඇඳීමට මාධ්‍යවේදීනට විශේෂ ඇඳුමක් හදුන්වා දිය යුතු බවටද යෝජනාවක් කළේය.

නිවාස ඇමති

හම්බන්තොට කර්මාන්ත පුරය සඳහා ගම්වාසීන්ගේ ඉඩම් පවරා ගැනීමේ සැලැස්මක් ඇතැයි පවසමින් විරෝධතා ව්‍යාපාරයක් පෙරට යමින් සිටිය දී නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මේ විරෝධතාවලට තම ප්‍රතිචාරය පළකළේය.

ප්‍රේමදාස ඇමතිවරයා පවසන්නේ මහජනයා පදිංචි ඉඩම් පවරා ගැනීම් සැලැස්මක් නොමැති අතර කර්මාන්ත පුරයට අවශ්‍ය තරම් මුදු ඉඩම් හම්බන්තොට ප්‍රදේශයේ ඇති බවය.