එමිල්කාන්තන්ට වරෙන්තු

රාඩා ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින කොටි සංවිධානයේ හිටපු නායකයකුවන ඇන්තනි එමිල්කාන්තන් අත් අඩංගුවට ගන්නැයි කොළඹ මහාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

චොදනා පත්‍ර භාරදීම සඳහා විත්තිකාර එමිල්කාන්තන්ට අද දින (දෙසැ 15) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතිසි නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් විත්තිකරු වෙනුවෙන් නීතිවේදියෙකු අද දින අධිකරණයේ පෙනී සිටියද විත්තිකාර එමිල් කාන්තන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළේ නඩුව අද දින කැඳවන බව දැනුවත්ව සිටි විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීම හිතාමතාම මග හැර ඇති බවය.

ඒ අනුව විත්තිකාර එමිල් කාන්තන් අත් අඩංගුවට ගන්නැයි දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන බව අධිකරණය ප්‍රකාශ කළේය.

කේ පී ට එරෙහි පරීක්ෂණ පෙරට

2006 වසරේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සුනාමියෙන් පිඩාවට පත් ජනතාවට නිවාස සාදා දීම සඳහා රාඩා ආයතනය මගින් වෙන්කළ රුපියල් මිලියන එකසිය විසි හතරක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහිව ඇන්තනි එමිල්කාන්තන්ට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු තුන් දෙනෙකු ද නම්කර ඇත.

මේ අතර විමර්ශන කටයුතු නිමාවීමට පෙර කොටි සංවිධානයේ හිටපු නායක කුමාරන් පද්මනාදන් අත් අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් කළ නොහැකි බව අද අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.

කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් පොලිස්පතිවරයා වෙත නිකුත් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැදවූ අවස්ථාවේදී එහි සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මේ බව ප්‍රකාශ කළේය.