හම්බන්තොට වරායට නාවික හමුදා කඳවුරක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට වරායට නාවික හමුදා කඳවුරක්

හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දී බලහත්කාරායෙන් රඳවා ගනු ලැබූ එක් ජාත්‍යන්තර නැවකට සිදුවූ අලාභයවන ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදල ගෙවන ලෙස රජයට එම සමාගම දන්වා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

හම්බන්තොට වරායේ ඇතිවූ තත්වය ගැන නාවික හමුදාපතිවරයා විසින් පිළියෙළ කළ වාර්තාවක් භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වරායේ ආරක්ෂාවට නාවික හමුදා කදවුරක් හම්බන්තොට ස්ථිර වශයෙන්ම පිහිටුවන බවද අගමැතිවරයා මෙහිදී පැවසුවේය.

"අපි නාවික හමුදාපතිතුමාගෙන් ඉල්ලීම් කළ පසු එතුමා ගිහින් එම වැඩකටයුතු කළා. නාවික හමුදාව එම නැව් ඉවත් කිරීමේදී ප්‍රශ්න තිබුණත් කෙසේ හෝ එම නැව් ඉවත් කළා. දැන් 'කේලයින්' නැව් සමාගම ඒ අයට සිදුවී ඇති අලාභය සදහන් කර ඩොලර් ලක්ෂ හතරක බිලක් එවලා තිබෙනවා. දැන් මේක ගෙවන්නේ කවුද? අනෙකුත් නැව්ද මෙලෙස සිදුවූ අලාභය ඉල්ලා සිටිය හැකියි"

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත හැකි පියවර ගැන එම නැව් සමාගම් සමග මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සාකච්ඡා කරන බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

හම්බන්තොට සේවකයන් රඳවාගෙන සිටි නැව් දෙක මුදවාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්චා කර නාවික හමුදාවට පැවරූ බවද අගමැතිවරයා කියා සිටියේය.

මෙම සිද්ධියේදී මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයා වෙත එල්ලවන චෝදනාව ගැන අගමැතිවරයා කිසිදු අදහසක් පළ නොකළත් මාධ්‍යවේදියෙකු පොලිසියේ කළ පැමිණිල්ලක් පිලිබඳ ඔහු සිය අදහස පළ කළේය.

"තංගල්ල පොලිසියට එක් වාර්තාකරුවෙක් පැමිණිල්ලක් දමා තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පිළිබද පැමිණිලි කරනවා නම් පැමිණිලි කළ යුත්තේ හම්බන්තොට පොලිසියටයි. තංගල්ලේ තිබෙන්නේ ධීවර වරායක්. ඒ නිසා නිවැරදි පොලිස් ස්ථානයට ඒ පිළිබද පැමිණිලි කරන ලෙස මා මාධ්‍ය සංගම්වලට පවසන්නට කැමතියි"

ආරක්ෂක කලාපයක් වන වරායට ඇතුළුවන සියලූම දෙනා අවසර ගත යුතු බව පැවසූ අගමැතිවරයා මෙම සිද්ධියට අදාළ මාධ්‍යවේදියා එහි ඇතුළු වීමට අවසර ලබාගෙන නොමැති බවට ලැබී ඇති පැමිණිල්ලක් ගැනද විමර්ශන සිදුවන බව පැවසුවේය.