තිස්සට විදෙස්ගතවීමට අවසර නැහැ

  • 2016 දෙසැම්බර් 16
Image copyright Getty Images
Image caption විත්තිකරු විදේශ ගතවීම සදහා ඉදිරිපත් කරන කරුණ අත්‍යවශ්‍ය හදිසි කටයුත්තක් නොවන බවයි රජයේ නීතිඥයා ප්‍රකාශකළේ

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට විදේශගත වීමට අවසර දීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනුලැබ ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ නායකයා සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙනි.

එම නඩුවට අදාළව ඇප ලබාදීමේදී විත්තිකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන දියණිය හමුවීම සදහා ඔස්ට්‍රේලියාවට බලා යාමට විත්තිකරුට අවසර දෙන මෙන් තිස්ස අත්තනායක වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ඔහුගේ නීතිවේදියා ඉල්ලා සිටියේය.

ඊට විරෝධය පළකල රජයේ නීතිවේදියා ප්‍රකාශකළේ මෙම විත්තිකරුට එරෙහිව පවරා තිබෙන නඩුව ඉදිරියේදී දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇති බවය.

විත්තිකරු විදේශ ගතවීම සදහා ඉදිරිපත් කරන කරුණ අත්‍යවශ්‍ය හදිසි කටයුත්තක් නොවන බැවින් එම ඉල්ලීමට විරුද්ධ වන බව රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය විත්තිකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව තීන්දු කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර