විමල් වීරවංශ පරීක්ෂණ මගහරිනවා - පොලිසිය

විමල් වීරවංශ මන්ත්‍රීවරයා Image copyright Wimal weerawansa

රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන්ට එරෙහි දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට පොලිසිය විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා කරයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එම චෝදනාව එල්ල කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කරමිනි.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසියාකාරව පෙනී නොසිටින බවයි, පොල්ලිසිය එහිදී සඳහන් කළේ.

එහි ප්‍රතිඵලයක් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 සහ 29 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන මෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා වෙත නියෝග කළාය.

පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර