‘වෙබ් අඩවි එදා හොඳයි-අද නරකයි’

Image caption තහංචි පනවනු ලැබුනත් විකල්ප මාර්ග

තමන් බලයට ගෙන ඒම සඳහා අන්තර්ජාල වෙබ් අඩවි මගින් විශාල කාර්යභාරයක් ඉටුකළ බව වත්මන් ආණ්ඩුව පවසන අතරවාරයේ කලින් බලයේ සිටි ආණ්ඩුව එම වෙබ් අඩවි සහ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිවල එදා ක්‍රියාකලාපය ඔවුන්ට එරෙහිව ගෙනගිය ද්වේශ සහගත ව්‍යාපාරයක් ලෙස දුටු බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පවසයි.

දැන් බලයේ සිටින ආණ්ඩුව එම අන්තර්ජාල වෙබ් අඩවි ද්වේශ සහගත ලෙස හැසිරෙන්නේ යයි අද පවසන්නේ නම් ඉන් ගම්‍ය වන්නේ එම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි එදා සහ අද ක්‍රියාකර ඇති ආකාරයේ වෙනසක් නොමැති බවදැයි ලසන්ත රුහුණගේ ප්‍රශ්න කරයි.

ඔහු එම ප්‍රකාශය කළේ 'අපහාසාත්මක කරුණු පළකරන අන්තර්ජාල වෙබ් අඩවිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබෙන' බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමිනි.

'එය එසේනම් මෙම වෙබ් අඩවිවල එදා හැසිරීම සහ අද හැසිරීම අතර වෙනසක් නැහැ. එදා හැසිරීම හොඳයි, අද නරකයි කියල කියන්න බැහැ. එතකොට එදා මේ වෙබ් අඩවි වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මාධ්‍යකරණයේ නිරත වුනේ ද්වේශ සහගතවද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා' ලසන්ත රුහුණගේ සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙබ් අඩවි පාලනය සඳහා සැරසුනත් අද අන්තර්ජාලයට පිවිසීමට ඇති විකල්ප ක්‍රියාමාර්ග(proxy) හමුවේ එය කොතෙක් සාර්ථක ක්‍රියාමාර්ගයක් වේද යන්න සිතා බැලියයුතු කරුණක් වනබවත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර