"ආණ්ඩුව නාවික හමුදාපති බේරා ගැනීමේ උත්සාහයක"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
හම්බන්තොට විරෝධතාව: උණුසුම් තත්වයක්

හම්බන්තොට වරායේසේවක උද්ඝෝෂණය අතරතුර මාධ්‍යවේදියකුට පහර දුන් බවට එල්ල වන චෝදනාවලින් නාවික හමුදාපතිවරයා බේරා ගැනීමේ උත්සාහයක නිරතවන බවට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට චෝදනා කරයි.

එම සිදුවීමෙන් දින දහයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පවත්වන බව කී පරීක්ෂණවල ප්‍රගතිය හෝ නිගමන මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැති බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පෙන්වා දෙයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එහිදී කටයුතු කළ ආකාරය සාධාරණීකරණය කරනු වස් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පළ කළ අදහස් සිය සංගමයේ දැඩි අවධානයට ලක් වූ බව ද මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ පැවසීය.

"අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම යහපාලනය යැයි හඳුන්වා ගනු ලබන ආණ්ඩුවකට උචිත නොවේ," ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රටේ සේනාධිනායකයාවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර