වසර දෙකක් පාසලක් අහිමි දරුවෙක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හලාවත: වසර දෙකක් පාසලක් අහිමි දරුවෙක්

වසර දෙකක් මුළුල්ලේ සිය පුතුට පාසලක් ලබා නොදුන් බවට හලාවත අධ්‍යාපන බලධාරීන්ට චෝදනා කරමින් දරුවාගේ මව ජාතික මානව හිමිකම් කොමිසමේ පිහිට පතා තිබේ.

ශේපන් ශානිල් නමැති හත් හැවිරිදි දරුවා හලාවත ආනන්ද ජාතික පාසලට මීටර් සියයක් පමණ නුදුරින් වාසය කරන නමුත් 2015 දී දරුවා ඇතුලත් කිරීම පාසල් බලධාරීන් ප්‍රතික්ෂේප කළ බව දරුවාගේ මව නිර්මලී පෙරේරා පවසයි.

2015 වසරේ සිය දරුවාට හලාවත ආනන්ද ජාතික පාසැල අහිමි වූයේ විදුහලෙන් ඉල්ලා සිටි මුදල ලබාදීමට නොහැකිවීම හේතුවෙන් බව, දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට සහ අධ්‍යාපන අමාත්‍යංශයට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ශේපන්ගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාම ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලබන අතර මව සහ පියාගේ පියා අධ්‍යාපනය ලබා තිබෙන්නේත් එම පාසලෙනි.

සිය දරුවාට පාසල ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් ඇය දහ අට වතාවක් උද්ඝෝෂණවල නිරත වී තිබේ. එහෙත් තමන්ට මෙතෙක් සාධාරණය ඉටු නොවීම හේතුවෙන් සිය පුතාට පාසලේ තුන් වැනි වසරත් අහිමිව යාමේ තත්වයක් උදා වී ඇති බවත් ඇය පවසයි.

මේ දරුවාට මෙතෙක් පාසලක් ලබා නොදීම හෙලා දකින බව ලංකා විදුහල්පති සංගමය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පරීක්ෂණ වාර්තා ප්‍රමාද කිරීම තරයේ හෙලා දකින බවත් සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු පැවසීය.

රාජකාරි හේතූන් මත මානව හිමිකම් කොමිසමේ පරික්ෂණයට සහභාගි වීමට නොහැකි වූ බව, හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පති ධනංජය වික්‍රම බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය. දැනට සිදුකර තිබෙන පරීක්ෂණයේ වාර්තාවක් මෙතෙක් ලැබී නැති බැවින් වැඩිදුර කිසිවක් පැවසිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

හලාවත ආනන්ද විද්‍යාලය සිය විෂය පථයට අයත් නොවන බව සඳහන් කළ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, දරුවාට ශාන්ත මරියා විද්‍යාලය හෝ විජය විද්‍යාලය ලබාදීමට තමන් සූදානම් බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් පරීක්ෂණයේ නිගමනයක් ලබා දෙන තුරු දරුවා කිසිදු පාසලකට ඇතුලත් නොකරන මෙන් ජාතික මානව හිමිකම් කොමිසම මවට දැනුම් දී තිබේ.