"පසුගිය ආණ්ඩුවේ ණය ගෙවීම අභියෝගයක්"

Image caption "පසුගිය ආණ්ඩුව විසින් උකස් කර තිබූ ඔබේ අනාගතය ඉකුත් වසර දෙකක කාලය තුළ බේරා ගැනීමට අපට හැකි වී තිබෙනවා"

රජය මීළඟට මුහුණ දෙන අභියෝගය මත්තල ගුවන් තොටුපොළ සහ මහා මාර්ග සඳහා ලබාගත් ණය බරෙන් ජනතාව මුදවා ගැනීම බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (දෙසැ. 20) කොළඹදී පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා පැවසුවේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය අඩිතාලම මේවනවිට දමා ඇති බවය.

"පසුගිය ආණ්ඩුව විසින් උකස් කර තිබූ ඔබේ අනාගතය ඉකුත් වසර දෙකක කාලය තුළ බේරා ගැනීමට අපට හැකි වී තිබෙනවා. මේ හේතුවෙන් එළැඹෙන වසර දෙක තුනක කාලය තුළ රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වෙනවා. ඉතිරි ණය මුදල ගෙවීමට ද අප විශේෂ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිනවා" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ක්‍රීඩාංගණය

හම්බන්තොට සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට පසුගිය රජය ගෙන ඇති රුපියල් මිලියන 4000ක ණයක් ගෙවීමටද දැන් වත්මන් රජයට සිදුවී තිබෙන බව අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ඔහු තවදුරටත් කියා සිටියේ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව හම්බන්තොට ගුවන් තොටුපොළට, වරායට සහ සම්මන්ත්‍රණ ශාලාවට ලබාගත් ණය මුදල් වසරින් වසර ගෙවීමට රජය කටයුතු කරමින් සිටින බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පදවි ප්‍රාප්තියේ තෙවැනි වසර ආරම්භවීමත් සමඟ රජයේ සියලුම සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරන බව අගමැතිවරයා පැවසීය.