කළු ජූලියෙන් සලිත වූ ජර්මානු කිවිඳිය - ඈන් රණසිංහ

Image copyright AP
Image caption 'හතලිස් වසකට පසුව, නැවතත් ගින්නකි. රෑ අහස ලෙයින් නැහැවී, හිංසනයෙන් දූෂණය වී ඇත ...'

'හතලිස් වසකට පසුව

නැවතත් ගින්නකි

රෑ අහස ලෙයින් නැහැවී

හිංසනයෙන් දූෂණය වී ඇත ...

මාගේ නෑදෑකම

විවාහය විසින් පමණක් වුවද

මට හැඟෙයි මාවම

ගොදුර ලෙස හා අපරාධකරු ලෙස

එකම විට ... ' (පරිවර්තනය - බූන්දි වෙබ් අඩවියේ අර්ජුන)

Image copyright SriLankaMirror.lk
Image caption එයාගේ තාත්තයි, අම්මයි, අම්මගේ අම්මයි සියලුම දෙනා මරල දැම්ම හිට්ලර්. යුදෙවු වීම නිසා මුළු පවුලම සමූල ඝාතනය වුනා''

අසූ තුනේ කළු ජූලිය දැක කම්පා වූ ඈන් රණසිංහ කිවිඳිය සිය කම්පනය පත් ඉරුවක සටහන් කළේ එලෙසින්.

නාසිවාදීන් සිය දෙමාපියන් ඇතුළු මුළු පවුලම ඝාතනය කළ අවස්ථාවේ එංගලන්තයේ වාසය කිරීම නිසා යාන්තමින් දිවි බේරාගත් ජර්මානු ජාතික ඇනෙලීස් කාට්ස් හෙවත් ඈන් රණසිංහ අද සිය රසික රසිකාවියන්ගෙන් සදහටම සමුගන්නීය.

පණහේ දශකයේ සිට ශ්‍රී ලංකාවේ වාසය කළ ඇය දිවියෙන් සමුගන්නේ 91 හැවිරිදි වියේදී. (සංදේශයේ ප්‍රණාමයට සවන්දෙන්න)

විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ඈන් රණසිංහ කිවිඳිය සමීපව ඇසුරු කළ ඇගේ රසිකයෙක්. ආචාර්ය අමුණුගම සහ ඈන්ගේ ස්වාමිපුරුෂයා වූ, නැසීගිය මහාචාර්ය ඩීඒ රණසිංහ සමීප මිත්‍රයන්.

"ලංකාවේ ජීවත්වුණ අග්‍රගන්‍ය කිවිඳියක්. එයාගේ ඒ කවි කම ආවේ එයාගේ වේදනාව නිසා," ආචාර්ය සරත් අමුණුගම බීබීසී සංදේශය සමඟ ඇගේ නිර්මාණ අගය කළේ එලෙසින්.

Image copyright AFP
Image caption අචාර්ය සරත් අමුණුගම, ඈන් රණසිංහ කිවිඳිය සමීපව ඇසුරු කළ ඇගේ රසිකයෙක්

"එයාගේ තාත්තයි, අම්මයි, අම්මගේ අම්මයි සියලුම දෙනා මරල දැම්ම හිට්ලර්. යුදෙවු වීම නිසා මුළු පවුලම සමූල ඝාතනය වුනා."

ඉන් අනතුරුව ඇය සිය මුළු ජීවිතයම ගත කළේ එක්තරා බියකින් බවයි, අමාත්‍ය සරත් අමුණුගම පවසන්නේ.

1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ ගැටුම් හටගත් අවස්ථාවල ඇය සිය කම්පනය පළ කළේ කාව්‍ය රචනාවකින්.

"ඔව් එයා ඒ දෙක අතර සංසන්දනය කළා. හිට්ලර් රාජ්‍ය බලය තුලින්නේ යුදෙවුවන් ඝාතනය කළේ? ලංකාවෙත් ඒ ගැටුම් අවස්ථාවල රාජ්‍ය බලය ඒ කියන්නේ පොලිසිය, හමුදාව වගේ බලය පෙන්වන සංකේත ගැන එයාගේ ලොකු බියක් තිබුණා," ආචාර්ය අමුණුගම විස්තර කළේය.

'මම මවිත වූයෙමි

නට්සි මිනීමරුවන් ගැන සහ

ඔවුන්ගේ ඝාතන දෙස

ඔහේ බලා සිටියවුන් ගැන ...

බැබර නේක නෙත්

පිළිබඳ මතකයන්

අකුණක් විලස

ඔවුන්ගේ දින සහ අවුරුදු

විනිවිදින්නේද ...' (පරිවර්තනය බූන්දි වෙබ් අඩවියෙන්)

කලක් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ කොළඹ නියෝජිතවරිය වශයෙන්ද සේවය කළ ඈන් ගේ බොහෝ නිර්මාණවලට වස්තු බීජය වූයේ සුළු ජනකොටස්වලට එරෙහිව සිදුවන හිරිහැර සහ නොසලකා හැරීම්.

ඈන් රණසිංහ සිය නිර්මාණ වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී මෙන්ම අන්තර්ජාතිකවද සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්