විසිඑක් වසරක් තිස්සේ කඳවුරක දිවි ගෙවන යුද අනාථයෝ

Image caption "ඉඩම් අහිමි තමන්ට වසර 21ක් තිස්සේ අනාථ කදවුර"

විසිඑක් වසරක් තිස්සේ තමන් වවුනියාවේ අනාථ කඳවුරක ජීවත්වන බව යුද්ධයෙන් අනාථවූ පවුල් 231ක සාමාජිකයෝ පවසති.

වව්නියාවේ අනාථ කඳවුරු දෙකක ජීවත්වන මෙම පිරිස පවසන්නේ දශක දෙකක් ගතවී ඇතත් තවමත් ඔවුන්ට නිවාස තනා දී නොමැති බවය.

වවුනියාව නගරයෙන් කිලෝමීටර් හතරක් දුරින් පිහිටි පූන්තෝට්ටම් අනාථ කදවුරේ පවුල් 95 ක්ද, නගරයට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටි සිදම්බරපුරම් කදවුරේ පවුල් 134ක්ද වශයෙන් මෙම පිරිස ජීවත් වෙති.

යුද්ධයෙන් අනාථවූ පවුල් 22000ක් 1995 වසරේදී මෙම කදවුරු දෙකට පැමිණ තිබේ.

ඔවුන්ගෙන් ඉඩම් හිමි පිරිස යළි පදිංචිය සඳහා ගොස් ඇති නමුත් ඉඩම් අහිමි තමන්ට වසර 21ක් තිස්සේ අනාථ කදවුර තුළම දිවි ගෙවන්නට සිදුව ඇතිබව ඔවුහු පවසති.

Image caption කඳවුරේ දරුවෝ

'මහ කැළයක'

මෙම යුද අනාථයන්ට 2008 වර්ෂයෙන් පසුව රජයෙන් ලැබෙන සියළු වරප්‍රසාද අහිමි වී තිබේ.

මේ පිළිබදව කළ විමසීමකදී වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ පූන්තෝට්ටම් අනාථ කදවුරේ වැසියන් ලබන වර්ෂයේ ජනවාරි මස අවසන් වන විට යළි පදිංචි කිරීම පිණිස ගම්මාන දෙකක නිවාස ඉදිකෙරෙන බවය.

නමුත් එම නිවාස ඉදිකර දෙනු ලබන්නේ තමන්ට නුහුරු පළාතක 'මහ කැළයක' බවත් එවැනි ප්‍රදේශයක පදිංචියට යාමෙන් තමන්ට කුළී වැඩක් හෝ කරගැනීමට නොහැකි වන බවත් කඳවුරු වැසියෝ පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර