උණුසුම සොයා ශ්‍රී ලංකාවට පැමිණෙන රෝස චාරිකාවෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උණුසුම සොයා සිරිලක පැමිණෙන රෝස චාරිකාවෝ

  • 2016 දෙසැම්බර් 27

රෝස මයිනා හෙවත් රෝස චාරිකාවා (Rosy Starling/ Rosy Pastor) ශ්‍රී ලංකාව තුලදී වසරේ මාස කිහිපයක් පමණක් දැකිය හැකි දුර්ලභ සංචාරක කුරුළු විශේෂයකි.

මේ පක්ෂීන් අම්බලන්තොට දෙහිගහලන්ද ධම්සිරිගම ප්‍රදේශයේ රුක් ගොමු සංචාරක නවාතැන් පොලක් කරගෙන තිබෙන අයුරු මේ දිනවල සවස් යාමයේ දක්නට ලැබෙන සුන්දර දර්ශනයකි.

දකුණු ඉන්දියාවේ සිට නොවැම්බර් දෙසැම්බර් මාසවල රෝස චාරිකාවා ශ්‍රී ලංකාවට පැමිණ ජනවාරි සිට පෙබරවාරි දක්වා ශ්‍රී ලංකාවේ වාසය කරන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

ඇතැම් වසරවල රෝස මයිනන් ඉතා විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන නමුත් ඇතැම් වසරවල ඔවුන්ගේ පැමිණීම සාපේක්ෂව අඩු බව පෙන්වාදෙන ඔහු, මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවේදී දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ ස්ථිර වාසස්ථානවල ශීත සෘතු කාලය තුල බවත් සඳහන් කළේය.

"ශීත සෘතු වර්ණ රටාවේදී මෙම සතා දුර්වර්ණ රෝසපාටට හුරු අළුපාට ශරීරයක් සහ කලුපාට ශරීරයක් ගන්නවා. නොමේරූ සතුන් බොහෝදුරට දුඹුරුපාට ශරීරයක් ගන්නවා. මෙම සතුන්ගේ ප්‍රජනනය බොහෝදුරට සිදුවන්නේ ලංකාවෙන් නික්ම යන්න කිට්ටුව හෝ ලංකාවට පැමිණුන වහාම උවත් බිත්තර දැමීම මෙහි සිදුවන්නේ නැහැ," යනුවෙන්ද නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

"මේ කුරුල්ලා මයිනන්ට නෑකම් කියන එම කුලයේම පක්ෂියෙක්. පියාසරිය පවා මයිනන්ට සමාන බවක් පෙන්වනවා."

බූන්දල ජාතික උද්‍යානය මෙන්ම අම්බලන්තොට, ලුණුගම්වෙහෙර වැනි ප්‍රදේශවලත් කටුනායක ගුවන්තොටුපලට ප්‍රවේශ මාර්ගය අවටත් රෝස චාරිකාවන් බහුල වශයෙන් දක්නට ලැබුණු බවත් පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්