බිම් බෝම්බ පිටුදැකීමේ ප්‍රඥප්තියට අත්සන් නොතබන්නේ ඇයි?

  • 2016 දෙසැම්බර් 26
බිම් බෝම්බ ඉවත්කරන කණ්ඩායම් Image copyright Getty Images
Image caption බිම්බෝම්බ උවදුර හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන් හා ළමුන්

ජාත්‍යන්තර බිම්බෝම්බ හා පොකුරු බෝම්බ පිටුදැකීම සම්බන්ධයෙන් වූ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොතැබීම ජාතීන් අතර සංහිඳියාවට විශාල ගැටළුවක් බව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධානවල නියෝජිතයෝ පවසති.

ශ්‍රී ලංකා ආණ්ඩුව ලබන ජනවාරි මාසයේ සංහිඳියාව පිළිබඳ සතියක් ප්‍රකාශයට පත් කොට තිබෙන නමුත් බිම්බෝම්බ පිටුදැකීමේ ප්‍රඥප්තියට අත්සන් තබා නොතිබීම හේතුවෙන් එම සතිය අර්ථවත් නොවන බව එම සංවිධානවල මතයයි.

අදාළ ප්‍රඥප්තියට අත්සන් තැබීම තුළින් අනාගතයේදී යුද්ධයක් ඇති නොවන බවට රජයට විශාල සහතිකයක් ලබා දිය හැකි බව බිම්බෝම්බ පිළිබඳ පර්යේෂකයෙකු වන විද්‍යා අබයගුණවර්ධන බීබීසී සංදේශයට පැවසීය.

බිම්බෝම්බ උවදුර හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන් හා ළමුන් බැවින් සංහිඳියාව ගොඩනැගීම පිණිස රජයේ එවැනි සහතිකයක් අවශ්‍යවන බවත් ඔහු කියා සිටියේය.

හමුදා කඳවුරුවල ආරක්ෂාව

මෙම ප්‍රඥප්තියට අත්සන් තබන බවට පොරොන්දු වී තිබෙන රජය, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියක්ද ලබාගෙන තිබෙන බව පෙන්වාදෙන ඔහු එයට අත්සන් තබන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් බොහෝ වාසි අත්වනු ඇති බවත් සඳහන් කළේය.

Image caption උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව බිම් බෝම්බ ඉවත්කරන කණ්ඩායම් පවසති

මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කියා සිටියේ, යුද හමුදා කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් බිම්බෝම්බ වැළලීමට සිදුව ඇති හෙයින් රජය එම ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම පිණිස මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමෙන් අනතුරුව එම ප්‍රඥප්තියට අත්සන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

එම ප්‍රඥප්තියට අත්සන් නොකිරීම සංහිඳියාව ගොඩනැගීමට ප්‍රශ්නයක් නොවන බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධතා බිඳ නොවැටෙන බවත් වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් අධෝරක්ත කැමරා වැනි ලෝකයේ මෙතරම් දියුණු ක්‍රමවේදයන් තිබියදී යුද හමුදා කඳවුරුවල ආරක්ෂාවට බිම්බෝම්බ වැළලීම තුළින් හමුදාවේ අමානුෂිකභාවය පෙන්නුම් කරණ බව විද්‍යා අභයගුණවර්ධනගේ අදහසයි.

උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව පෙන්වා දෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන ඒ සඳහා තවත් වසර පහළොවක පමණ කාලයක් ගත වනු ඇති බවත් පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්