mano
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් බාධා කරනවා -මනෝ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවේ සමගියට බාධාවන ලෙස හැසිරෙමින් 2015 ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හැරවීමට කටයුතු කරමින් සිටින බවට දමිළ ප්‍රගතිශීලි සන්ධානය චෝදනා කරයි.

ආණ්ඩුව නියෝජනය කරන වතුකරයේ දෙමළ පක්ෂවලින් සැදුම්ලත් දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මේ බව කියාසිටියේ

අද (දෙසැ. 28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

"පින් ඇමතිවරු"

"අපි පිනට ආපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් නෙවෙයි, ජනබලයෙන් ආපු මන්ත්‍රීවරුන්, ජනබලය ලබාදීලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කරපු ඇමතිවරු අපි" යනුවෙන් ඇමතිවරයා පැවසුවේය.

අමාත්‍ය මනෝ ගනේෂන් තවදුරටත් කියාසිටියේ වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩි දායකත්වයක් තමන් විසින් දක්වන ලද බවය.

ජාතික රජයක් බිහි කිරීමට ප්‍රධාන හේතුව ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාදීම සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීම බවත් එය සම්මත කරගන්නා තෙක් ප්‍රධාන පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම වැදගත් බවත් ඇමතිවරයා පැවසීය.

මෙය ජාතික වගකීමක් ලෙස තේරුම් ගෙන කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.