මම ජනාධිපති කාලේ බුද්ධි අංශ මගේ දුරකථනත් ටැප් කළාද දන්නේ නැහැ - මහින්ද

Image caption හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින්

'සන්ඩේ ලීඩර්' හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර 2008 වසරේ සිදු විනැයි පැවසෙන රහස් දුරකථන සංවාද දෙකක හඬපට යම්කිසි පාර්ශවයක් විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ බොහෝදෙනාගේ අවධානයට ලක්වෙමින් පවතී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අතර දෙසැම්බර් 29 වෙනිදින පැවති සාකච්ඡාවේදී, බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් එම හඬපට පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමක් කළ අතර, එම අවස්ථාවේ ඉදිරිපත් කෙරුණ ප්‍රශ්න හා හිටපු ජනාධිපතිවරයා දුන් පිළිතුරු මෙහි දැක්වෙයි.

ප්‍රශ්නය ;මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා ඔබතුමා අතර ඇතිවූ දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයක් නිකුත් වී තිබෙනවා, එය නිකුත් කළේ ඔබ විසින්ද? ඔබ එයට සවන් දුන්නාද?

පිළිතුර; මම එවැන්නක් නිකුත් කළේ නැහැ, මට අහන්නත් බැරිවුනා. නමුත් ඒ ගැන මට දැනගන්න ලැබුණා.

ප්‍රශ්නය; ඒක මේ වෙලාවේ නිකුත් කෙරුණේ කුමක් නිසා කියලද ඔබතුමා හිතන්නේ ?

පිළිතුර; මම දන්නේ නැහැ, ඒක මටත් හොයාගන්න අවශ්‍යයි. කවුද මේක කළේ කියලා. ඒ හඬපටය එක්කෝ ලසන්තගේ 'සන්ඩේ ලීඩර්' කණ්ඩායමත් එක්ක තියෙන්න ඕන. නැත්නම් පොලිසියේ NIB (රාජ්‍ය බුද්ධි අංශය) එක ගාව තියෙන්න ඕන.

ප්‍රශ්නය; ඒ කියන්නේ, පොලිසියේ NIB එක (රාජ්‍ය බුද්ධි අංශය) දුරකථන ඇමතුම් පටිගත කළාද - ඔබතුමා ජනාධිපතිවරයා ලෙස සිටි අවධියේ ?

පිළිතුර; නැහැ, ලසන්ත තමයි පටිගත කළේ. එහෙම පුරුද්දක් ඔහුට තිබුණා, ඔයගොල්ලොත් එහෙම කරනවනේ. ලසන්තට එහෙම පුරුද්දක් තිබුණා, එයා මට ඒ වගේ හඬපට දීලත් තියෙනවා ඒ දවස්වල. විවිධ ඇමතිවරුන්ගේ සහ විවිධ පුද්ගලයන්ගේ සංවාද ඇතුලත් හඬපට එයා මට දීල තියෙනව. එයා මගේ යාළුවා.

Image caption විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් හිටපු ජනාධිපතිවරයා සමඟ

ප්‍රශ්නය; බුද්ධි අංශයේ ලිපියක් පවා වෙබ් අඩවිවල පළකර තිබුණා - ලසන්ත ඇතුළු තවත් අයගේ දුරකථන ටැප් කරන ලෙස ඒ දවස්වල ආපු නියෝගයක් ඇතුළත්?

පිළිතුර; නැහැ, අපි නම් කාගෙවත් දුරකථන ටැප් කළේ නැහැ. මම දන්න විදිහට - මම දන්නේ නැහැ- මගේ සංවාදත් NIB එක ටැප් කරාද කියලා.

ප්‍රශ්නය; එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහෙම කළාද?

පිළිතුර; ඇයි එයා එහෙම කරන්නේ?

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර