රාජ්‍ය ඇමතිකම්වලින් වැඩක් නැහැ - රංගේබණ්ඩාර

පාලිත රංගේබණ්ඩාර Image copyright Maithripala Sirisena/FB

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් එම ධුරවල කටයුතු කිරීම එතරම් ඵලදායී ක්‍රියාවක් නොවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි.

නව ආණ්ඩුව බලයට පත් වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් දියත් වී නොමැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත අවස්ථා කීපයකදීම යෝජනා ඉදිරිපත් කළ බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා නව වසරේදීවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි වාතාවරණයක් උදාකර දීමට පියවර ගනු ඇති බවට විශ්වාස පළ කරයි.

රාජ්‍ය අමාත්‍යංශ වෙත විෂය පථයන් වෙන් කර දීමට පියවර ගත යුතු යැයි යෝජනා කරන ඔහු, රාජ්‍ය අමාත්‍යංශ වෙත ලේකම්වරු ලබා දීමට පියවර ගෙන ඇතත් ප්‍රායෝගිකව වැඩකටයුතු සිදු කිරීමට හැකි වාතාවරණයක් සැකසී නොමැති බව පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යංශ මගින් ඵලදායී සේවාවක් සිදු කිරීමටනම් වෙනම වැය ශීර්ෂයක් මගින් එම අමාත්‍යංශ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර දිය යුතු බවටත් ඔහු යෝජනා කරයි.

2017 වසරේ මුල් මාස දෙක තුළ සිය ගැටලුවට නිසි විසඳුම් ලබා නොදෙන්නේනම් අමාත්‍ය ධුරවල රැඳී සිටීමේ ඵලක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාර පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්