වැලි මැස්සාගෙන් ප්‍රවේසම් වන්න!

"මේ රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නිරාවරණය වී පවතින ශරීරයේ අවයවවලයි. මුහුණ, අත් සහ පාදවල තමයි රෝගී ලක්ෂණ දකින්න ලැබෙන්නේ.
Image caption "මේ රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නිරාවරණය වී පවතින ශරීරයේ අවයවවලයි. මුහුණ, අත් සහ පාදවල තමයි රෝගී ලක්ෂණ දකින්න ලැබෙන්නේ."

උතුරු මැද සහ දකුණු පළාත්වල ව්‍යාප්ත වෙමින් පවතින වැලි මැසි උවදුර සෙසු පළාත්වලට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරපෝෂවේදය පිළිබඳ අංශ ප්‍රධානී ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්‍රමසිංහ පවසයි.

මදුරුවෙකුට සමාන වැලි මැස්සා (Sand fly) ලෙස හඳුන්වනු ලබන පරපෝෂිත කෘමි විශේෂය හරහා මිනිසුන්ට චර්ම රෝගයක් වැළඳෙන බව ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්‍රමසිංහ කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

1972 වසරේදී පමණ මුලින්ම වාර්තා වූ ලීශ්මේනියෑසිස් ( Leishmaniasis) ලෙස හඳුන්වන චර්ම රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මේවන විට ඉහළ යමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

ලීශ්මේනියෑසිස් චර්ම රෝගය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවත් ආචාර්ය වික්‍රමසිංහ සඳහන් කළේය.

"වැලි මැස්සාගේ ගෑනු සතා මිනිස්සුන්ගෙ සහ සතුන්ගෙ ලේ බොනවා. ලේ බොන අවස්ථාවේ තමයි මේ රෝග කාරකය මිනිස් ශරීරයට ඇතුල් වෙන්නේ. මේ රෝගය විශේෂයෙන් සමේ ඇතිවන ආසාදනයක් ලෙස තමයි පැතිර යන්නේ," ඔහු පැවසීය.

Image caption මදුරුවෙකුට සමාන වැලි මැස්සා (Sand fly)

ඇතැම් විට වැලි මැස්සන්ගෙන් සිදුවන ආසාදනය ශරීරයේ අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරිත්වයට ද බලපෑම් එල්ල කරන බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

"මේ රෝගය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි සිදු වූ රෝගීන් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය වැනි රටවලින් වාර්තා වෙනවා. නමුත් ලංකාවේ එම රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවෙන් එවැනි රෝගීන් හය හත් දෙනෙක් පමණයි වාර්තා වී තිබෙන්නේ. එම රෝගී තත්වය නිසා ඔවුන්ගෙන් කීප දෙනෙක් මිය ගොස් තිබෙනවා,"

වැලි මැසි උවදුරෙන් ආරක්ෂා වීමට හැකි තරම් ශරීරය ආවරණය කර ගත යුතු බව කී ආචාර්ය වික්‍රමසිංහ රාත්‍රි නින්ද සඳහා මදුරු දැල් භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.

"මේ රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නිරාවරණය වී පවතින ශරීරයේ අවයවවලයි. මුහුණ, අත් සහ පාදවල තමයි රෝගී ලක්ෂණ දකින්න ලැබෙන්නේ." යැයි කී ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්‍රමසිංහ වැලි මැස්සන් මර්දනය කිරීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර