උමා ඔය: නව වසර උදාවෙද්දී 'ගෙවල් හයක් ගිලා බසී'

උමා ඔය

බණ්ඩාරවෙල ප්‍රාදේශීය කොට්ඨාශයට අයත් උඩුපේරුව ගම්මානයේ නිවාස ගිලාබසිමින් පවතින බව උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවගේ ව්‍යාපාරය පවසයි.

එහි කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ (දෙසැ.31) සිට මේ දක්වා නිවාස හයක් ගිලා බැස ඇති බවය.

තවත් නිවාස කීපයක බිත්ති ඉරිතලා ගොස් ඇති බව කී ඔහු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් එම විනාශය සිදුවන බව පැවසීය.

"මේ ගම්මානය අසලින් තමයි කිලෝමීටර 15.2 දිග මේ ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟ ගමන් කරන්නේ. උමඟ ගමන් කරන ප්‍රදේශවල තමයි මේ විනාශය වෙන්නේ," ඔහු සඳහන් කළේය.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ පිහිටි නිවාස සහ ඉඩම්වලට හානි සිදුවන බව බලධාරීන් ද පිළිගෙන ඇති බව කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට මෙතෙක් බලධාරීන් හෝ දේශපාලන නායකයන් ඉදිරිපත් වී නොමැති බව පැවසීය.

'වන්දි නැහැ'

2008 වසරේ දී ආරම්භ කෙරුණු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගෙන නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතා විරෝධය හමුවේ ඉන් වසර තුනකට පසු 2011 වසරේ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කරනු ලැබූ නමුත් එහි විශ්වසනීයත්වය පිළිගත නොහැකි බව ඔහු සඳහන් කළේය.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් නිවාස 3870 ක් පුපුරා විනාශ වී ඇති බව කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉන් නිවාස හයසියයකට පමණක් වන්දි ලබා දී ඇති බව පැවසීය.

"ඒ වගේම මිනිස්සුන්ට වතුර නැහැ. ළිං ඔක්කොම හිඳිලා. දැන් අවුරුදු දෙකක් කන්න හතරක් වැඩ නැහැ. සතපහක වන්දියක් නැහැ. දෙසැම්බර් 31 ට පෙර ගොවීන්ට වන්දි දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. එක ගොවියකුට වන්දියක් දෙන්න මේ ආණ්ඩුවට බැරි වුනා." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්