"චීනයට දෙන්නේ මුඩු ඉඩම්"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"කණ්ඩලම හදද්දීත් හම්බන්තොට වගේ චෝදනා ආවා"

කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා හම්බන්තොටින් චීනයට ලබා දෙන්නේ මුඩු ඉඩම් මිස මිනිසුන් පදිංචි ඉඩම් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

අද (ජනවාරි 02) කොළඹ පැවති උත්සවයක් අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ චීනයට ලබා දීමට බලාපොරොත්තු වන්නේ සීමා සහිත ඉඩම් ප්‍රමාණයක් පමණක් බවය.

කර්මාන්තශාලා 2,400 ක් ආරම්භ කිරීම සඳහා අදියර කීපයක් යටතේ හම්බන්තොට සහ ඒ අවට දිස්ත්‍රික්කවලින් චීනයට අක්කර 15,000 ක් ලබා දීමට නියමිත බව අමාත්‍ය මලික් සමරවික්‍රම මින්මීට ඉහතදී ප්‍රකාශ කළේය.

එලෙස චීනයට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් නැගෙන ජන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ තම පියා, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එවකට දඹුල්ලේ කණ්ඩලම හෝටලය ආරම්භ කිරීමට ක්‍රියා කරද්දී ද මේ ආකාරයට විරෝධතා එල්ල වූ බවය.

"එදා පාරට බැහැල කිව්වා කණ්ඩලම හෝටලය දඹුල්ලට විනාශයක් කියලා. අද මොකද වෙලා තියෙන්නේ. කණ්ඩලමහෝටලයට ජාත්‍යන්තර පාරිසරික සම්මාන ලැබෙනවා විතරක් නෙවෙයි, මුළු දඹුල්ලම පිබිදිලා තියෙනවා සංවර්ධනයෙන්," ඔහු පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2017 වසරේදී ආණ්ඩුව පෙරළන බවට කළ ප්‍රකාශකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට නොහැකි බවය.

2015 සහ 2016 වසරවල රට තුළ සංවර්ධන වැඩපිළිවෙළ අසාර්ථක වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ සාමාන්‍ය ජනතාව එවැනි චෝදනාවක් එල්ල නොකරන බවය.

තමන් යටතේ පවතින නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය උදාගම් 237ක් ඉදි කිරීමේ කටයුතුවල මේ මොහොතේත් නිරත වී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.