සීමා නීර්ණය වාර්තාව: අසම්පූර්ණ චාරිකාවක
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සීමා නීර්ණය වාර්තාව: අසම්පූර්ණ චාරිකාවක

සීමා නීර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව භාරගැනීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

එම කමිටුවේ සභාපති අශෝක පීරිස් විසින් අදාළ වාර්තාව අද (ජනවාරි 02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා වෙත අද භාර දීමට නියමිතව තිබුණ අතර එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු ඊට අත්සන් තබා නොතිබීම හේතුවෙන් නෛතික තත්වය පිළිබඳ අවධානය යොමු කොට එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවය.

තමන් ඇතුළු කමිටු සාමාජිකයන් තිදෙනෙකු පසුගිය සෙනසුරාදා රැස් වූ අවස්ථාවේ වාර්තාවට අත්සන් තැබූ බව කී කමිටුවේ සභාපති අශෝක පීරිස් සෙසු සාමාජිකයන්වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් මිස්බා යන සාමාජිකයන් එහි නොසිටි බව පැවසීය.

කෙසේ වෙතත් වාර්තාව කියවා බලා ඊට අත්සන් තබන බව ඔවුන් පවසා සිටි බවත් අශෝක පීරිස් සඳහන් කළේය.

යම් හෙයකින් සෙසු සාමාජිකයන් දෙදෙනා වාර්තාවට අත්සන් නොතබන්නේ නම්, බහුතර අත්සන් සංඛ්‍යාවක් ඇතිව වාර්තාව භාර ගැනීමට අමාත්‍ය ෆයිසර් මුස්තාපා එකඟ වූ බවත් සීමා නීර්ණය අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් වැඩිදුරටත් කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය

ඉදිරි දින කීපය තුළ, සෙසු සාමාජිකයන් දෙදෙනාගේ අත්සන් ලැබූ වහාම තමන් වාර්තාව භාර ගැනීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල්යෑම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාත්, සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයා හා රජයත් එහි වගකීම භාරගත යුතු බව පැෆරල් සංවිධානය පසුගියදා සඳහන් කළේය.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් විෂයභාර අමාත්‍යවරයාගෙන් ද සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයාගෙන් ද ඉල්ලා සිටියේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තවදුරටත් අවමානයට ලක් නොකර පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසය.

සබැඳි විෂයයන්