සතියක් ඇතුළත රැකියා අවස්ථා විසිදහසක් - අගමැති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සතියක් ඇතුළත රැකියා අවස්ථා විසිදහසක් - අගමැති

මේ සතිය ඇතුළත ආරම්භ කෙරෙන කර්මාන්තශාලා ව්‍යාපෘති හරහා පමණක් රට තුළ රැකියා අවස්ථා විසි දහසක් බිහිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ කුලියාපිටියේ ඉදි කිරීමට සැලසුම් කොට ඇති මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව වෙනුවෙන් පැවති මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින්නි.

ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද සහභාගී විය.

කුලියාපිටියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ඇති කිරීමේ සැලසුම ඇතැමුන් විසින් අවඥාවට ලක් කරනු ලැබූ බව කී අගමැතිවරයා ඉන් රැකියා අවස්ථා දෙදහස් පන්සීයක් උත්පාදනයවන බව සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරි කාලය තුළ තවත් රැකියා අවස්ථා බිහි කිරීම සඳහා තමන් ඇතුළු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැප වී කටයුතු කරන බවත් ඔහු පැවසීය.

විදෙස් රටවලට සම්පත් විකුණන බවට ඇතමුන් විසින් චෝදනා කරනු ලැබුවත් රට සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජන අත්‍යවශ්‍ය බව අගමැතිවරයා පෙන්වා දුණි.

"විදේශීය සහ දේශීය ආයෝජන ලබා ගන්න එක වරදක්ද?, අද තිබෙන්නේ විකල්ප දෙකයි. විදේශ ආයෝජන ගෙනත් රැකියා අවස්ථා ලැබී දීම හෝ නැති නම් රජයේ දේපළ හොරකම් කරලා තමන් පෝසත් වෙන්න ඕනි," අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.