දුමින්දගේ වෛද්‍ය වාර්තා කෝ? -මහේස්ත්‍රාත්

Image caption විත්තිකාර දුමින්ද සිල්වා අධිකරණයට රැගෙන එනු ලැබුවේ ගිලන් රථයකිනි

මරණ දඬුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරයි.

මෙම නියෝගය නිකුත් කෙරුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව පැවරූ නඩුවක් අද (ජන. 05) අධිකරණයට කැඳවූ අවස්ථාවේදීය.

බන්ධනාගාර බලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර දුමින්ද සිල්වා අධිකරණයට රැගෙන එනු ලැබුවේ ගිලන් රථයකිනි.

රෝගී තත්වය

Image caption දැඩි ආරක්ෂක විධිවිධාන මැද

බන්ධනාගාර බලධාරීන් අධිකරණයට දන්වා සිටියේ රෝගී තත්වය හේතුවෙන් විත්තිකාර දුමින්ද සිල්වා රෝද පුටුවකින් පවා අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නොහැකි තත්වයක් පවතින බවය.

එය තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකළේ මන්දැ'යි බන්ධනාගාර බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය, එම වාර්තාව ලබාදීමට දෙසතියක කාලයක් ලබා දුන්නාය.

අනතුරුව නඩු විභාගය ලබන 26 වනදා තෙක් කල් තැබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු විත්තිකාර දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණය ඉකුත්දා මරණීය දණ්ඩනය නියම කළේය.