‘හම්බන්තොට නැතිවුනොත් ත්‍රිකුණාමලයත් නැතිවෙනවා’

Image caption ජවිපෙ නායක අනුරකුමාර දිසානායක පා.ම.

ශ්‍රී ලංකාවේ වරායන් ලෝකයේ වැදගත් ස්ථානයක් හිමිකර ගනුලබන්නේ විශාල වෙළෙඳපොළක් නිසා නොව එහි පිහිටීම නිසා යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

'අපේ රටේ තියෙන්නේ පොඩි වෙළෙඳපොළක්.ආනයන සහ අපනයන ආර්ථිකය කුඩා එකක්. එහෙත් එවැනි රටක වරාය ප්‍රමුඛ වැදගත් තැනක් ගන්නේ එහි පිහිටීම හේතුවෙන්'ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියාසිටියේය.

ඔහු එම ප්‍රකාශය කළේ, හම්බන්තොට වරාය චීනයට බදුදීමේ සහ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ප්‍රදේශයේ ඉඩම් පවරාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළකිරීම සඳහා අම්බලන්තොට පැවති මහජන රැස්වීමක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ භූමිය ආර්ථික වශයෙන් පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂක උපාය මාර්ග අනුවත් චීනයට වැදගත් ස්ථානයක් වනබව ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ අදහසයි.

'හම්බන්තොට වරාය චීනයට දුන්නොත් සහතික වශයෙන්ම අපට ත්‍රිකුණාමලය වරායත් අත්හරින්න සිදු වෙනවා. හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් වැදගත් මධ්‍යස්ථානය. ත්‍රිකුණාමලය ආරක්ෂක වශයෙන් වැදගත් මධ්‍යස්ථානය.හම්බන්තොට වරායේ වැදගත්කම තියෙන්නේ නැව් එනවාද නැද්ද යන්න අනුව නොවෙයි.මෙතෙන්දි සිදු වෙන්නේ අපේ සම්පූර්ණ ආර්ථිකය විදේශිකයන් අතට යාමක්' අනුර කුමාර දිසානායක කියාසිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ මහජන රැස්වීමට පෙර විරෝධතා පාගමනක් ද පැවැත්විණි.