හම්බන්තොටින් ගන්නේ අක්කර 1235 යි - රනිල්

අගමැතිවරයා හම්බන්තොට අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී දිස්ත්‍රික්කයේ මහා සංඟයා වහන්සේ අමතමින්
Image caption සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබුවේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසිනි

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා චීන සමාගම්වලට ලබාදෙන්නේ අක්කර 1235 ක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ සිකුරාදා රාත්‍රියේ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී දිස්ත්‍රික්කයේ මහා සංඟයා වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී.

පවරා ගැනීමට නියමිත අක්කර 15000 න් ඉතිරි ප්‍රමාණය ලබාගන්නේ කුමන ප්‍රදේශවලින්දැයි තීරණය කිරීම සාගල රත්නායක අමාත්‍යවරයාට සහ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භාරදෙන බවත් අගමැතිවරයා පැවසීය.

කෙසේ නමුත් ඊට පෙරාතුව මහනුවරදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ, චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000 ක් ලබා දෙන බවට ආණ්ඩුව කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බවයි.

Image caption ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව භික්ෂූන් වහන්සේ පෙන්වා දුන්හ

අම්බලන්තොට ජයවර්ධනාරාමයේ පැවති සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබුවේ හිටපු කථානායක චමල් රාජපක්ෂ විසිනි.

එහිදී අගමැතිවරයා වෙත කරුණු පැහැදිලි කළ තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ, ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව පෙන්වා දුන්හ.

අක්කර 1235 කට වඩා ප්‍රදේශයේ ඉඩම් පවරා නොගන්නා බවට අගමැතිවරයා එහිදී ප්‍රතිඥාවක් දුන්නේය.

"හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට එපා නම් මට කරන්න දෙයක් නැහැ. මම බලහත්කාරයෙන් ඉඩම් ගන්නේ නැහැ," අගමැතිවරයා පැවසීය.

Image caption හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට එපා නම් මට කරන්න දෙයක් නැහැ' - අගමැති රනිල් '

හම්බන්තොට දැනට ක්‍රියාත්මක වන්නේ පළමු ගිවිසුම පමණක් වන අතර, එහි දෙවන සහ තුන් වන ගිවිසුම් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බවත් අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

ඉදිරි පියවරට අදාළ සාකච්ඡා සඳහා මහා සංඝරත්නයද කැඳවන බවට අගමැතිවරයා ප්‍රතිඥාවක්ද දුන්නේය.

සෙනසුරාදා හම්බන්තොට උද්ඝෝෂණ තහනම් කරමින් ලබා දී තිබෙන අධිකරණය නියෝගය අවලංගු කරගැනීම පිණිස කටයුතු කරන මෙන් සාගල රත්නායක ඇමතිවරයාට උපදෙස් දෙන බවත් අගමැතිවරයා පැවසීය.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවේදී මහා සංඝරත්නය ආණ්ඩුව සමග කිසිදු එකඟත්වයකට නොපැමිණි බව හම්බන්තොට ජාතික සම්පත් සුරැකිමේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු බැරගම ඥාණතිලක හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර