"බලය බෙදීම පමාවෙන් TNA අසීරු අඩියක"

ශ්‍රී ලංකා Image copyright Getty Images

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනඥයින් මෙන්ම දෙමළ ජනතාව ද ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටින නමුත් වර්තමාන රජයෙන් ද එවැනි විසඳුමක් ලබා දෙන බවක් පෙනෙන්න නැතැයි ඊ.පී.ආර්.එල්.එෆ් නායක සහ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

යාපනයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය උතුරු සහ නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ බවය.

දෙමළ ජාතික සන්ධානයත් උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවත් වත්මන් රජයට පූර්ණ සහාය පළ කරන ලද්දේ එම පොරොන්දු ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය.

නමුත් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත් සිය අපේක්ෂාවන් ඉටු නොවීම තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් හාස්‍යයට ලක්ව ඇති බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි පසුබිමක් තුළ දෙමළ ජාතික සන්ධානය රජයට සහය දීම තවදුරටත් සිදු කරන්නේද යන්නත්, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දෙමළ ජාතික සන්ධානය ඉදිරියටත් කටයුතු කරන්නේද යන්නත් ආර් සම්බන්දන් විපක්ෂ නායකවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා වීසින් තීරණය කළ යුතු බවත් ඔහු පැවසීය.

උතුරේ වැසියන්ට අයත් ඉඩම් ආපසු ලබාදීම, යුද අනාථයින් යළි පදිංචි කොට අවසන් කිරීම හා යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීම යන කරුණු ද මේ වන විට රජයට අමතක වී ඇති බව ඔහු කියා සිටියේය.

එබැවින් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ජනාධිපතිවරයා සහ රජය සමග සාකච්ඡා කොට සුදුසු තීරණයකට එළඹිය යුතුව ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්දරන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර