වරාය අධිකාරියෙන් රජයට චෝදනා

Image caption වරාය පැවරීමේ ක්‍රියාවලියේදී රජය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇති බවයි පැමිණිලිකාර පාර්ශවය පවසන්නේ

හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ ක්‍රියාවලියේදී රජය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි එම අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළේය.

හම්බන්තොට වරාය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරී පනතට අනුව වරායන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට පමණක් බවය.

එහෙත් හම්බන්තොට වරාය පැවරීමේ ක්‍රියාවලියේදී රජය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි චෝදනා කළ එම නීතිවේදියා එම පැවරුම් ක්‍රියාවලියට විෂය භාර ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී විරෝධය පළකර ඇති බවද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම සදහා කල් අවශ්‍ය බවය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන මස 03 වෙනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පෙර විරෝධතා තිබේනම් ඉදිරිපත් කරන්නැයි වග උත්තරකාර පාර්ශවයට නියම කළේය.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටින්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හම්බන්තොට වරාය සහ එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජකයිනට පැවරීම නීතියට පටහැනි බවය.

මේ හේතුවෙන් අදාළ පැවරුම් ගිවිසුම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර